මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අද(28) දිනට යෙදී ඇත. ඒ අනුව ඉස්ලාමීය මාස ක්රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හඳුන්වයි.
ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වන අතර ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්රධාන අරමුණයි.
මේ අතර සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව වශයෙන් සැලකේ.
හජ් උත්සවය සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙලක් ක්රියාත්මක කර ඇති අතර ඒ අනුව විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්රධාන මුස්ලිම් පල්ලි සහ අවට ප්රදේශ ආවරණය වන ආකාරයට පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
එසේම මුස්ලිම් පල්ලි අවට අධික රථ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීමට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්රියාත්මක කර ඇත.
ඊට අමතරව බන්ධනාගාර ගත රැදවියන්ට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක් අද (27) දිනයේ ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බන්ධනාගාර ගත රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්රමාණවත් වන ආකාරයට ලබාදීමට ද අවස්ථාව සලසා දී ඇති බව වාර්තා වේ.