ලෝකයම හොල්ලන හදිසි නියෝගයක් - 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝ අත්අඩංගුවට ගන්න අමෙරිකාවෙන් වරෙන්තු
1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩා අතර ගුවන් සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියකට අදාළව, කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට එරෙහිව අමෙරිකාව බරපතළ අපරාධ චෝදනා ගොනු කර තිබේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම ප්‍රහාරයෙන් අමෙරිකානු පුරවැසියන් ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය අතර, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ගුවන් යානා විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේදී රාවුල් කැස්ත්‍රෝ කියුබානු සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබූ අතර, ඔහු සමඟ තවත් පස් දෙනෙකුටද චෝදනා එල්ල වී ඇත.
මියාමි නුවර පැවති මාධ්‍ය හමුවකදී අමෙරිකාවේ වැඩබලන නීතිපති ටොඩ් බ්ලැන්ච් ප්‍රකාශ කළේ, මියගිය සිව්දෙනා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මිනීමැරුම් චෝදනා ගොනු කර ඇති බවයි. එම චෝදනා සඳහා උපරිම දඬුවම ලෙස මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, කියුබානු රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. වත්මන් ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් පවසන්නේ, එය දේශපාලන අරමුණු මත ගොඩනැගූ පියවරක් බවයි. එමෙන්ම, එදා කියුබාව ක්‍රියා කළේ තම දේශසීමා ආරක්ෂා කර ගැනීම සඳහා බවද ඔහු අවධාරණය කළේය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කියුබාවට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින පසුබිමක මෙම නඩු කටයුතු ආරම්භ වීම විශේෂත්වයක් ලෙස සැලකේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කියුබාවට එරෙහිව දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින පසුබිමක මෙම නඩු කටයුතු ආරම්භ වීම විශේෂත්වයක් ලෙස සැලකේ.
මේ අතර, මියාමි නුවර රැස්ව සිටි කියුබානු-අමෙරිකානු ප්‍රජාව මෙම තීරණය සාදරයෙන් පිළිගෙන ඇති අතර, ඝාතනයට ලක්වූවන්ගේ පවුල් සාමාජිකයන් පවසා ඇත්තේ වසර 30කට පසුව හෝ යුක්තිය ඉටුවීම පිළිබඳව සතුටු වන බවයි.
ජාත්‍යන්තර විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ, මෙම සිදුවීම හේතුවෙන් අමෙරිකාව සහ කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් විය හැකි බවයි.