හෙට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු දැඩි විරෝධතාවයක් - ලබන සතිය ගැනත් අනතුරු අඟවයි
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු වෙනුවෙන් ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම නිසා හෙට දිනයේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.
ඒ අනුව එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා ප්‍රකාශ කළේ හෙට (02) දිනයේදී දිවා විවේක කාලය තුළදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු එක්ව මෙම විරෝධතාවයේ නියැලීමට තීරණය කළ බවයි.
එසේම මේ සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් එළැඹෙන සතිය වන විට මෙම විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්ර කිරීමටද කටයුතු කරන බවද ඔහු පවසයි.
තවද චාරුදත්ත ඉලංගසිහ මහතා ප්‍රකාශ කළේ රජය බලයට පත්වීමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් යෝජනාවලියක්ද රජයට ලබා දුන් බවත්ය.
එහෙත් රජය විසින් එම යෝජනා සඳහා හෝ සාකච්ඡාවලින් එළඹෙන එකඟතා ක්‍රියාත්මක නොකරන තත්ත්වකට පත්ව ඇති බවත් ඔහු මෙහිදී පවසයි.
එමෙන්ම මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමඟ ද සාකච්ඡා කළ බව පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරිය වෙත ලිඛිතවද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළ බව පෙන්වා දුන්නා.
එහෙත් මේ වන තුරුත් එම ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බව සඳහන් කළ ලේකම්වරයා මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් රැසක් සේවය හැරගොස් ඇති බවද කියා සිටියා.
ඉකුත් 2015 වසර වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට වසරකට ශිෂ්‍යන් 25,000ක ප්‍රමාණයක් බඳවා ගනු ලබන බවත් මේ වන විට එය වසරකට ශිෂ්‍යන් 45,000ක් දක්වා වර්ධනය වී ඇති බවත් ඔහු පවසයි.
කෙසේ නමුත් 2015 වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 5,800ක් සිටිය ද මේ වන විට ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බවත් ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ,
"පහුගිය වසර කිහිපය තුළ විශාල වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාලය හැර ගියා. මේ වනකොට යම් ප්‍රමාණයක් බඳවා ගැනීම් විවෘත කරලා තිබුණත් ඒ තනතුරුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අයදුම් කරන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙනවායි කියන්නේ මේ රටේ අනාගතය බිඳ වැටීම. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ පිළිබඳව කන් දෙන්න බැරිනම් අපි ලෑස්තියි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න. අපි වසර දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධව සාකච්ඡා කළා. විසඳුමක් නැති තැන අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා හෙට දවසේ දිවා විවේක කාලයේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විරෝධතා දක්වන්න. හැබැයි මේ පටන් ගන්න විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව මේවට විසඳුම් දෙන තුරු අඛණ්ඩව පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා." යනුවෙන්.