විරෝධතාකරුවන් බේරාගන්න ඇමරිකාව සූදානම් - ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් අනතුරු
ඉරානයේ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අවධානය යොමු වී ඇත.
ඔහුගේ Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ, ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළහොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවයි. ඉරානයේ විරෝධතාකරුවන් ඝාතනය කිරීම සිරිතක් වුවද, අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණෙනු ඇති බවත් ඔහුගේ සටහනේ සඳහන් වේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අලි ලරිජානි මහතා අදහස් දක්වා ඇත්තේ, ඉරානයේ පවතින තත්ත්වයට එක්සත් ජනපදය මැදිහත් වුවහොත් එය මුළු කලාපයම අස්ථාවර කරන බවත්, අමෙරිකානු අවශ්‍යතා විනාශ වන බවත්ය.
ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ඉරානයේ ආරම්භ වූ විරෝධතා මේ වන විට තීව්‍ර මට්ටමකට පත්ව ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා වන විට විරෝධතාවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබුණි. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
විවෘත වෙළඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාල් මුදල් ඒකකයේ අගය තියුණු ලෙස පහත වැටීමත් සමග මෙම විරෝධතා ආරම්භ වූ අතර, පසුව ඉරාන විශ්වවිද්‍යාල සිසුන් ඊට එක්වූහ. බොහෝ විරෝධතාකරුවන් කමේනිගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඇතැමුන් රාජාණ්ඩුව නැවත ලබා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.