ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයකට අත්සන් - මේ රටවලට අමතර තීරු බදු
ඉරානය සමඟ වෙළඳාම දිගටම කරගෙන යන රටවලට අමතර තීරුබදු පැනවිය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිකුරාදා අත්සන් කළ විධායක නියෝගයකින් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම නියෝගයේ පැනවිය හැකි අනුපාතය නිශ්චිතව දක්වා නොමැත.
එසේ වුවත් උදාහරණයක් ලෙස 25% භාවිතා කරන අතර, එය "ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබා ගන්නා" ඕනෑම ජාතියකින් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා අදාළ වන බව දන්වා සිටියි.
කෙසේ වෙතත් ට්‍රම්ප් මෙම නියෝගය පිළිබඳව සෘජුව අදහස් දක්වා නොමැති වුවත් සිකුරාදා රාත්‍රියේ එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිට කතා කරමින් ඉරානයට "න්‍යෂ්ටික අවි නැත" යනුවෙන් නැවත අවධාරණය කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම සති කිහිපයක සිට දෙපාර්ශ්වයෙන් එල්ල වූ තර්ජන හමුවේ, ජ්‍යෙෂ්ඨ ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් අතර ඕමානයේ පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ මෙය සිදු වෙන බව සඳහන්.
එසේම මෙම වසර මුලදී Truth Social වෙත ලිපියක් යවමින් ට්‍රම්ප් ඉරානය සමඟ ව්‍යාපාර කරන රටවලට 25% ක තීරු බද්දක් පනවන බවට තර්ජනය කළ අතර ජනවාරි 12 වන දින ඔහු මෙසේ ලිවීය,
"වහාම ක්‍රියාත්මක වන පරිදි, ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ව්‍යාපාර කරන ඕනෑම රටක් ඇමරිකා එක්සත් ජනපදය සමඟ කරන ඕනෑම සහ සියලුම ව්‍යාපාර සඳහා 25% ක තීරුබදුවක් ගෙවනු ඇත."