ට්‍රම්ප්ගේ අවසන් උත්තරය
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එක් නොවන්නේ නම් ඉරානයට පහර දෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අවධාරණය කර තිබේ.
මෙම උත්සන්න තත්ත්වය මත ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ඉරානයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට පූර්ණ අවසර ලබාදෙන ලෙසයි.
මැදපෙරදිග කලාපයේ ආරක්ෂක අවදානම් ඉහළ යාම හේතුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවගේ අනුමැතියෙන් පසු ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අත්‍යාවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට රටෙන් පිටව යාමට අවසර දී ඇත.
තානාපති මයික් හකබී මහතා විසින් කාර්ය මණ්ඩලයට එවන ලද විද්‍යුත් තැපෑලකදී "පිටව යාමට කැමැත්තෙන් සිටින්නේ නම් අදම එසේ කළ යුතුයි" යැයි අවධාරණය කර තිබේ. ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ න්‍යෂටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා අසාර්ථක වුවහොත් යුධ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.
ඒ අනුව එක්සත් ජනපදය මැදපෙරදිගට යුද නැව් සහ ගුවන් යානා සමූහයන් යොදවා ඇති අතර, මෙය ඉරාකයේ එක්සත් ජනපද ආක්‍රමණයෙන් පසුව විශාලතම හමුදා යෙදවීමක් ලෙස සැලකේ.
ඉරානය ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පහර දුන්නොත් කලාපයේ එක්සත් ජනපද හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. එමෙන්ම එක්සත් ජනපද මිත්‍ර රාජ්‍යයක් වන ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
මෙම ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ජර්මන් විදේශ කටයුතු අමාත්‍යාංශය ජර්මන් පුරවැසියන්ට ඊශ්‍රායලය හා නැගෙනහිර ජෙරුසලමට සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.
ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයද තම පුරවැසියන්ට ඊශ්‍රායලයට ගමන් නොකරන ලෙස අවවාද කර ඇත.
එසේම චීන තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ තම පුරවැසියන්ට දැඩි සුපරීක්ෂාකාරීව සිටින ලෙස දැනුම් දී ඇති අතර, ඉරානයේ සිටින චීන පුරවැසියන්ට හැකි ඉක්මනින් ඉවත් වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ, කොමන්වෙල්ත් හා සංවර්ධන කාර්යාංශයද තම තානාපති කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉරානයෙන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය මැදපෙරදිග ආරක්ෂක උත්සන්නතාවය ඉහළ මට්ටමකට ගෙන ඇති අතර, ජිනීවාහි පැවති එක්සත් ජනපද-ඉරාන සාකච්ඡාවලදී "සැලකිය යුතු ප්‍රගතියක්" ඇති බව ඔමාන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළද, එක්සත් ජනපදයේ ඉල්ලීම් ඉරානය පිළිගැනීමට බැරි බව වාර්තා වේ.