ට්රෑම් පීලි පැනීමෙන් මිලාන් හි මරණ 2, තුවාල 40කට වැඩි
උතුරු ඉතාලියේ මිලාන් නගරයේදී ට්රෑම් රථයක් පීලි පැනීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස්, තුවාල ලැබූවන් 40කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා මිලාන්හි Viale Vittorio Veneto වීදිය ඔස්සේ ගමන් කළ මහජනයාගෙන් පිරී තිබූ ට්රෑම් රථය පීලිවලින් ඉවතට පැන, මුලින් රථවාහන සංඥා ලාම්පුවක ගැටීමෙන් පසු අවන්හලක හෝ සාප්පුවක වීදුරු බිඳගෙන ගොඩනැගිල්ලකට ගැටී තිබේ.
මගීන් පවසන පරිදි, ට්රෑම් රථයට යටින් විශාල ශබ්දයක් ඇසුණු පසු එය වේගයෙන් පීලිවලින් ඉවතට පැන තියුණු වංගුවක් ගෙන ගොඩනැගිල්ලකට ගැටුණු බවයි.
මියගිය අය අතරින් එක් අයෙකු වයස 60 පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර, ඔහු ට්රෑම් රථයට යටවූ මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු බව විශ්වාස කෙරේ.
බහුතර තුවාල ලැබූවන් ට්රෑම් රථයේ මගීන් බවයි වාර්තා වන්නේ. සුන්බුන් අතර මිනිසුන් සිරවී සිටින බවට වාර්තා වීමත් සමඟ ගිලන් රථ සහ හදිසි සේවා කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ස්ථානයට පැමිණ තිබේ.
මෙම අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති වුවද, ට්රෑම් රථය අධික වේගයෙන් තියුණු වංගුවක් ගැනීම හෝ රියදුරුගේ සෞඛ්‍ය ගැටලුවක් හේතු වන්නට ඇති බව මාධ්‍ය පවසයි.
මිලාන් නගරාධිපති ජුසෙප් සලා මහතා සහ බලධාරීන් ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඔමිසයිඩ් කොල්පෝස් සහ ලෙසියෝන්ස් කොල්පෝස් චෝදනාවලට අනුව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.