ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට ඉරානය නිවේදනය කර තිබෙනවා.
ඒ, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවමින්. ඔවුන් මෙම දැඩි තීරණයට පිවිස ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසුව බව සඳහන්.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් පවතින අතරතුර මෙම තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් හෝමුස් සමුද්‍ර සන්ධිය පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ "බලශක්ති මධ්‍යස්ථානය" සේ සලකයි. එහි පටුම ස්ථානය සැතපුම් 21ක් පමණ වන අතර, නැව් ගමනාගමනයට ඇති මාවත සැතපුම් 2ක් තරම් ඉතා පටු වේ.
එමෙන්ම සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය ද මෙය වීම විශේෂත්වයක්.
මෙම හෝමුස් සමුද්‍ර සන්ධියේ අයිතිය ඉරානයට පමණක් අයත් බවට බොහෝ දෙනාගේ මතය වුවද සැබෑ තත්ත්වය එසේ නොවන බව සඳහන්.
එය උතුරින් ඉරානයටත්, දකුණින් ඕමානයටත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් මැදිව පිහිටා ඇති අතර මෙහි නාවික ගමන් මාර්ග වැඩිපුරම වැටී ඇත්තේ ඕමානයට අයත් මුහුදු සීමාව තුළයි.
එමෙන්ම මෙහි පටු බව හේතුවෙන් නෞකාවලට ඉරාන මුහුදු සීමාව හරහා ද ගමන් කිරීමට සිදු වෙයි.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය අනුව මෙය 'ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක්' වශයෙන් සැලකෙන හෙයින් කිසිදු රටකට එහි සාමකාමී නාවික ගමනාගමනය අවහිර කිරීමට නීතිමය අයිතියක් නොමැත.
එමෙන්ම හෝමූස් වසා දැමීම තුළ විශාල අවදානමක් පවතී. එනම් ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන්නේ මෙම සන්ධිය හරහා බැවින් මෙය වසා දැමීම යනු ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වීම බව පවසයි.
එසේම මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් ඉහළ යාම, ගෝලීය උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, යුරෝපයේ සහ ආසියාවේ ප්‍රධාන කර්මාන්ත ශාලා අඩපණ වීම ආදී බලපෑම් රැසක් සිදු වේ.