කිම් ජොං උන් සමඟ යාළු වෙන්න ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට හමුදා අභ්‍යාස කප්පාදුවක්
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණදීම සඳහා දකුණු කොරියාව සහ ඇමරිකාව එක්ව පවත්වන හමුදා අභ්‍යාස “නුසුදුසු සහ සතුරු” ක්‍රියාමාර්ගයක් බව පවසමින්, එම අභ්‍යාසවල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
වාර්ෂිකව පැවැත්වෙන “Ulchi Freedom Shield” ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ තමන්ට පවතින “ඉතා හොඳ සබඳතාව” හේතුවෙන්, ඇමරිකාව දකුණු කොරියාව සමඟ මෙවැනි ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට සහභාගී වීම පිළිබඳව තමන් සතුටු නොවන බවයි.
මෙම හමුදා අභ්‍යාස සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන අතර, එහි සැලකිය යුතු කොටසක් ඇමරිකාව විසින් දරන බවද ට්‍රම්ප් සඳහන් කර තිබේ. එමෙන්ම, එවැනි අභ්‍යාස උතුරු කොරියාවට “නුසුදුසු සහ සතුරු සංඥාවක්” ලබාදෙන බවද ඔහු පවසා ඇත.
කෙසේ වෙතත්, අභ්‍යාස අවලංගු කිරීමට ප්‍රමාද වැඩි බැවින්, ඒවා “සැලකිය යුතු ලෙස අඩු කිරීමට” ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට නියෝග කළ බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. දින 11ක් පුරා පැවැත්වෙන මෙම හමුදා අභ්‍යාසය දකුණු කොරියානු හමුදාව සහ එහි ඇමරිකානු සගයන් විසින් නිතිපතා පවත්වන ප්‍රධාන ගිම්හාන හමුදා පුහුණුවකි.
න්‍යෂ්ටික අවි සහිත උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයකට මුහුණදීම සඳහා සූදානම් වීම මෙහි ප්‍රධාන අරමුණකි. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කර ඇති අතර, ඒවා කලින් දැනුම් දුන් පරිදි සහ සැලසුම් කළ ආකාරයටම ඉදිරියට යන බවයි.
උතුරු කොරියාව දිගු කලක් තිස්සේ මෙම හමුදා අභ්‍යාසවලට විරෝධය පළ කර ඇති අතර, ඒවා තම රට ආක්‍රමණය කිරීමට සිදුකරන පෙරහුරුවක් ලෙස හඳුන්වා තිබේ. ඇමරිකාව දැනට දකුණු කොරියාවේ හමුදා සාමාජිකයන් 28,500ක් පමණ ස්ථානගත කර ඇති අතර, එය උතුරු කොරියාවෙන් එල්ල විය හැකි හමුදා තර්ජනවලට එරෙහිව දකුණු කොරියාවේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කොටසකි.
මේ අතර, උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතාද වඩාත් සමීප වී තිබේ. යුක්රේනයේ යුද්ධය සඳහා උතුරු කොරියාව රුසියාවට හමුදා සහය ලබාදෙන බවට වාර්තා පළ වී ඇති අතර, උතුරු කොරියානු සෙබළුන් පවා රුසියාවට යවා ඇති බව විශ්ලේෂකයෝ පවසති.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශය උතුරු කොරියාව විසින් විශේෂ වැදගත්කමක් ලබාදෙමින් පිළිගැනීමට ඉඩ අඩු බව දකුණු කොරියාවේ Kyungnam විශ්වවිද්‍යාලයේ උතුරු කොරියානු කටයුතු පිළිබඳ විශේෂඥ ලිම් යුල්-චුල් පවසා තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස සම්පූර්ණයෙන් අවලංගු කළහොත් පමණක් එය උතුරු කොරියාවට වැදගත් සංඥාවක් වනු ඇති බවයි. එබැවින් කිම් ජොං උන්ගෙන් වහාම ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු පවසා ඇත. මෙම මාසයේදී උතුරු කොරියාව අවස්ථා දෙකකදී මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර, ඒවා දකුණු කොරියා–ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලට විරෝධය දැක්වීමක් ලෙස පුළුල් ලෙස සැලකේ.
යුක්රේන යුද්ධයෙන් උතුරු කොරියානු හමුදා අත්දැකීම් වැඩිවෙයි ට්‍රම්ප් සහ කිම් ජොං උන් අතර සාකච්ඡා බිඳවැටීමෙන් පසු උතුරු කොරියාව සිය න්‍යෂ්ටික සහ මිසයිල හැකියාවන් තවදුරටත් පුළුල් කර ඇති බව විශේෂඥයෝ පවසති.
ට්‍රම්ප් සහ කිම් අවසන් වරට මුහුණට මුහුණ හමුවී ඇත්තේ 2019 වසරේදීය. එමෙන්ම, 2022 වසරේ රුසියාව යුක්රේනයට එරෙහිව පූර්ණ පරිමාණ ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු උතුරු කොරියාව සහ රුසියාව අතර හමුදා සහ ආර්ථික සබඳතාද තවදුරටත් ශක්තිමත් වී තිබේ.
විශ්ලේෂකයන්ට අනුව, උතුරු කොරියාව රුසියාවට සෙබළුන් සහ යුදෝපකරණ ලබාදෙමින් ඒ වෙනුවට මූල්‍ය ආධාර, ආහාර, බලශක්තිය සහ හමුදා තාක්ෂණය ලබා ගනිමින් සිටී. මේ අතර, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පසුගියදා ප්‍රකාශ කළේ උතුරු කොරියානු සෙබළුන් 50,000ක් දක්වා රුසියාවට යෙදවීමට නියමිත බවයි. කෙසේ වෙතත්, එම ප්‍රකාශය තහවුරු කිරීමට යුක්රේනය විසින් සාක්ෂි හෝ නිශ්චිත කාලසීමාවක් ඉදිරිපත් කර නොමැත.
ඇමරිකානු සහ දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක කර්නල් රයන් ඩොනල්ඩ් පසුගිය සතියේ සඳහන් කළේ මෙවර “Ulchi Freedom Shield” අභ්‍යාසයේදී රුසියා–යුක්රේන යුද්ධයට සහභාගී වීමෙන් යුද අත්දැකීම් ලබා ඇති උතුරු කොරියානු හමුදා සමඟ සටන් කිරීමේ තත්ත්වයන් අනුකරණය කරන බවයි.
මෙවර අභ්‍යාසයට දකුණු කොරියානු හමුදා සාමාජිකයන් 18,000ක් සහ එරට සිටින ඇමරිකානු හමුදා සාමාජිකයන් සහභාගී වන අතර, ඩ්‍රෝන යුද්ධ, GPS පද්ධතිවලට බාධා කිරීම සහ සයිබර් ප්‍රහාරවල භූමිකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද ඔහු පවසා තිබේ.
දකුණු කොරියාවේ වත්මන් ජනාධිපති ලී ජේ-මියුන් 2025 ජුනි මාසයේ බලයට පත්වීමෙන් පසු, සිය පූර්වගාමියාට වඩා මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් උතුරු කොරියාව සමඟ පූර්ව කොන්දේසි රහිත සාකච්ඡා පැවැත්වීමටත්, කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කිරීමටත් යෝජනා කර තිබේ.
එහෙත්, උතුරු කොරියානු නායකත්වය මේ දක්වා එම යෝජනා සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.