වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයේ දී වෙඩි තැබූ සැකකරුට ට්‍රම්ප් ඝාතන චෝදනා
වොෂින්ටන් නුවර පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නමැති පුද්ගලයාට එරෙහිව මේ වන විට වොෂින්ටන් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
කැලිෆෝනියාවේ පදිංචිකරුවෙකු වන මොහු පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකු වන අතර මීට පෙර කිසිදු අපරාධ වාර්තාවක් නොමැති අයෙකු වුවද, ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එෆ්.බී.අයි වාර්තාවලට අනුව ඇලන් මෙම ප්‍රහාරය සඳහා ඉතා සූක්ෂ්ම ලෙස සූදානම් වී ඇති අතර, ඔහු අප්‍රේල් 6 වන දින සිට වොෂින්ටන් හිල්ටන් හෝටලයේ කාමරයක් වෙන් කරගෙන ඇත්තේ කැලිෆෝනියාවේ සිට දුම්රියෙන් ගිනි අවි පවා ප්‍රවාහනය කරමිනි.
සිද්ධිය වූ දින රාත්‍රියේ සැකකරු ආරක්ෂක මුරපොලක් හරහා කඩා වැදී වෙඩි තැබීම ආරම්භ කළ අතර, ඒ සමඟම උත්සවයට සහභාගී වූ මාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන් භීතියට පත්ව මේස යට සැඟවී තිබේ.
එහිදී රහස් ඔත්තු සේවා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී ජනාධිපති ට්‍රම්ප් ඇතුළු ඉහළ නිලධාරීන් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කරගනු ලැබීය.
සැකකරු සතුව තිබී පම්ප්-ඇක්ෂන් වර්ගයේ වෙඩි බෙහෙත් තුවක්කුවක්, අර්ධ ස්වයංක්‍රීය අත් තුවක්කුවක් සහ පිහි තුනක් සොයාගෙන ඇති අතර, ඔහු සිය ඥාතීන්ට යැවූ විද්‍යුත් තැපෑලක තමා "මිත්‍රශීලී ෆෙඩරල් ඝාතකයා" ලෙස හඳුන්වා ගනිමින් ජනාධිපතිවරයා ද්‍රෝහියෙකු ලෙස විවේචනය කර ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
මෑතකදී ඇමරිකාව තුළ වාර්තා වූ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නවතම අවස්ථාව ලෙස සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, සැකකරු ලබන බ්‍රහස්පතින්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.