මිල සූත්‍රය නැතිව ත්‍රීවීල් සහ ප්‍රවාහන මාෆියාවක්.. රටම කතා කරන ඇත්ත විස්තරය
ත්‍රිරෝද රථ, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා නියාමනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බලය පවරා වසරකට අධික කාලයක් ගතවී ඇතත්, ගාස්තු සම්බන්ධ මිල සූත්‍රයක් මෙතෙක් සකස් නොකිරීම හේතුවෙන් එම නියාමන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වීම ඇනහිට ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් කුලී ත්‍රිරෝද රථ, පාසල් ප්‍රවාහන සහ කාර්යාල ප්‍රවාහන සේවා රියැදුරන් අසීමිත ලෙස ගාස්තු අය කරමින් සේවා සපයන බවට නිරීක්ෂණය වී ඇති බව ප්‍රවාහන වෘත්තීය සමිති සඳහන් කරති.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත වර්තමාන අවශ්‍යතා අනුව සංශෝධනය කරමින් 2025 මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය 2025 ජුනි 05 වැනිදා බහුතර ඡන්දයෙන් සම්මත වී තිබිණ.
එතෙක් එම කොමිෂන් සභාවට බලය පැවැතියේ අන්තර් පළාත් බස් රථ නියාමනය සහ බස් ගාස්තු සංශෝධනය සඳහා පමණක් බවද සඳහන් වේ. මෙරට ලියාපදිංචි ත්‍රිරෝද රථ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් පවතින අතර, ඉන් ලක්ෂ අටකට වැඩි පිරිසක් කුලී සේවාවල නිරත වන බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරි නිරීක්ෂණවලින් හෙළිවී ඇත.
එහෙත් බොහෝ රියැදුරන් හිතුමනාපයෙන් ගාස්තු අය කරමින් සේවා සපයන බවත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පසුබෑම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මේ අතර ත්‍රිරෝද රථ සංගම් හා කොමිෂන් සභාව අතර පැවති සාකච්ඡාද මෙතෙක් සාර්ථක නොවූ බව වාර්තා වේ.
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන අතර, ඒවා අන්තර්ජාල මඟින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වෙමින් පවතින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පළමු කිලෝමීටරයට රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 100 බැගින් ගාස්තු අය කිරීම පිළිබඳව පසුගිය ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා දී ඇති බවයි.