"ආණ්ඩුවට ඡන්දය දුන් අය දැන් කියන්නේ ආණ්ඩුව වහාම එළවන්නලු" - මහින්ද
විපක්ෂයේ පක්ෂ සියල්ල ආණ්ඩුවට අවුරුද්දක කාලයක් කිසිදු ආකාරයක බලපෑම් කිරීමකින් තොරව, කඩාකප්පල් කිරීමකින් තොරව රජයේ කටයුතු කරගෙන යාමට ඉඩ දුන් බවත්, තවත් එලෙස බලා සිටිය නොහැකි බවත් මහින්ද අමරවීර පවසයි.
හවුල් විපක්ෂයේ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
"ආණ්ඩුවට ඡන්දය දුන් අය දැන් කියන්නේ ආණ්ඩුව වහාම එළවන්න ඕනේ කියලා. අපි ආණ්ඩුවට අවුරුද්දක් ඉඩ දුන්නා. ඒත් තවත් ඉදිරියට යන්න ඇයි ඉඩ දෙන්නේ?" යැයි මහින්ද අමරවීර පවසයි.
ජනාධිපතිවරයා තේරී පත්වූ පසු, ඔහුට රට ගොඩනැගීමට අවස්ථාව ලබාදීමට සියලු පක්ෂ එකඟ වූ බවත්, ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට විපක්ෂය ඉඩ සලසා දුන් බවත් ඔහු සඳහන් කළේය.
ඉතිහාසයේ පළමු වරට නව ආණ්ඩුවක් බලයට පත්වූ පසු, පක්ෂ එකතු වී වැඩවර්ජන, මාර්ග අවහිර කිරීම් හෝ විරෝධතා පැවැත්වීමෙන් වැළකී සිටි බවත්, සංචාරකයින්ට ශ්‍රී ලංකාවට නොපැමිණෙන ලෙස ඉල්ලීමක් නොකළ බවත් ඔහු පැවසීය. එසේම, විපක්ෂ පක්ෂ ජනතාවට බලපාන කිසිදු විරෝධාත්මක ක්‍රියාවක නිරත නොවූ අතර, ආණ්ඩුවට ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට ඉඩ සලසා දුන් බවත් ඔහු අවධාරණය කළේය.
කෙසේ වුවත්, ආණ්ඩුවට අවුරුදු පහක කාලයක් බලයේ රැඳීමට විපක්ෂය ඉඩ දුන්නද, ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාව එසේ අවුරුදු පහක් ආණ්ඩුවට බලයේ රැඳීමට ඉඩ දීමට සූදානම් නැති බවත්, ආණ්ඩුව වහාම ඉවත් කළ යුතු බවත් මහින්ද අමරවීර පවසයි.
ජීවන වියදමට සහන ලබාදීම, විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීම, ඉන්ධන රුපියල් 100ට අඩුවෙන් ලබාදීම, ලක්ෂ 12කට මෝටර් රථයක් මිලදී ගැනීමට අවස්ථාව සැලසීම වැනි පොරොන්දු ආණ්ඩුව ජනතාවට දුන් නමුත්, ඒවා ඉටු නොකළ බව ඔහු චෝදනා කළේය.
එහෙත්, ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රට සුබදායී මාවතකට ගෙන යාමට ආණ්ඩුවට තවමත් අවස්ථාව ඇති බව පවසමින්, මහින්ද අමරවීර අවධාරණය කළේ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව සහ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට විපක්ෂයට කටයුතු කිරීමට සිදුවී ඇති බවයි.