අතුරුගිරියේ කැළඹූ වෙඩිල්ලේ සැකකරුවෙක් අත්අඩංගුවට - ආපු යතුරුපැදියේ තිබුණු ව්‍යාජ අංක තහඩු තවත් වෙඩි තැබීම් ගණනකට සම්බන්ධයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ඊයේ (01) දින දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
මේ අතර පොලිසිය සඳහන් කළේ, ඉකුත් අගෝස්තු 17 වන දින අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බව හෙළි වී ඇති බවයි.
එසේම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, එම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන ඇත.
අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටද තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.
අඳාළ යතුරුපැදියේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු, ඉකුත් ජූලි 19 වන දින දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට මෙන්ම, ජූලි 21 වන දින ගල්කිස්ස පොලිස් වසමේ පන්සල් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පහරදීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ බවටද හෙළි වී ඇත.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.