සුජීව සේනසිංහ අත්අඩංගුවට ගැනීම සියල්ල සූදානම්!
එකලස් කළ බවට සැක කෙරෙන V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධ විමර්ශනවලට අදාළව රහස් පොලිසිය තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව පවසමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය වෙත අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළේය.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව, වලාන දූෂණ මර්දන ඒකකය පසුගිය නොවැම්බර් මාසයේදී වරෙන්තුවක් මත තම සේවාදායකයාගේ නිවස සෝදිසි කළ බවත්, එහිදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නිල ඇඳුම් සහ නීතිවිරෝධී වාහන ඇති බවට ලැබුණු තොරතුරු මත පොලිසිය එම වරෙන්තුව ලබාගෙන තිබූ බවත්ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, සෝදිසි කිරීමේදී සුජීව සේනසිංහ මහතාගේ නිවසේ Benzවර්ගයේ මෝටර් රථයක් සහ Volkswagen වර්ගයේ මෝටර් රථ දෙකක් තිබූ බවත්, පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී මෝටර් රථ දෙපාර්තමේන්තුව අමතා එම වාහනවල ලියාපදිංචිය තහවුරු කරගත් බවත්ය.
තම සේවාදායකයාගේ නිවසේ තිබූ මෝටර් රථවල කිසිදු ගැටලුවක් නොමැති බව පසුගිය වසරේ නොවැම්බර් 7 වැනිදා පොලිසිය අධිකරණයට වාර්තා කළ බවත්, එහෙත් V8 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළිබඳ විමර්ශනයට අවශ්‍ය බව දැනුම් දුන් බවත් පවසා සිටි ජනාධිපති නීතිඥවරයා, එම වාහනය රහස් පොලිසියට විමර්ශන සඳහා තම සේවාදායකයා ස්වෙච්ඡාවෙන් භාරදුන් බවත් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ, අධිකරණයේ බාරයේ තබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලැබුණු බවත්, එම වාහනය එකලස් කළ එකක් දැයි තහවුරු කිරීමට රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බවත්ය.
පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ රස පරීක්ෂක වාර්තාවට අනුව, V8 රථයේ පැස්සුමක් ඇති නමුත් එහි එන්ජින් හා බඳ පිළිබඳ ගැටලු නොමැති බව සඳහන් බවත්, එම පැස්සුමට හේතුව වාහනය අනතුරකට ලක්වීමක් දැයි පොලිසියෙන් ප්‍රශ්න කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය නියෝග කළ බවත් ඉන්ද්‍රතිස්ස මහතා පැවසීය.
එමෙන්ම, V8 වාහනය සුජීව සේනසිංහ මහතාට පැවරූ ලිපිගොනුවල තිබූ අත්සන මුල් අයිතිකරුගේද යන්න සෙවීමට රහස් පොලිසිය ශ්‍රී රංගාට අයත් ලේඛන 37ක් අත්අකුරු පරීක්ෂකවරයාට යොමු කළ බවත්, එහිදී වාහනය පැවරීමට අවශ්‍ය සියලු ලේඛනවල ශ්‍රී රංගාගේ අත්සන තහවුරු වූ බවත් ඔහු සඳහන් කළේය.
කරුණු සලකා බැලීමෙන් පසු, ලබන 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස රහස් පොලිසියට නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කළාය.
සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
