බන්ධනාගාරගතකර සිටින සුගීෂ්වරගේ පාදයක නහරයක් පිපිරෙයි - වහාම රෝහලට
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පාදයේ පැවති ‘වෙරිකෝස්’ තත්ත්වය මත රුධිර නහරයක් පුපුරා යාම හේතුවෙනි.
සුගීෂ්වර බණ්ඩාර මහතාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබුණි.
එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේ, බන්ධනාගාරගතව පසුවන රැඳවියෙකුගේ අභ්‍යන්තර පරිපාලන හෝ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් සෘජු නියෝග නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බැවින් අදාළ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත සෘජුව යොමු කරන ලෙසයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස මෙන්ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලයේදී විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ රුපියල් කෝටි 22 කට අධික රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩකිරීම පිළිබඳව එල්ල වී ඇති චෝදනා හමුවේය.