බස්නාහිර පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන පරිදි, ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන්නේ බස්නාහිර පළාතේ ළමුන් බව අනාවරණය වී ඇත.
විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍යවලට යොමුවන බව මණ්ඩලය සඳහන් කරයි.
මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද මත්ද්‍රව්‍යවලට ළමුන් නැඹුරු වන ප්‍රමුඛ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ද අවදානම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
මිතුරන්ගේ බලපෑම ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර, පාසල් තුළ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම, විදුහල්පතිවරුන්ගේ සහ කලාප අධ්‍යාපන කාර්යාලවල උනන්දුව අඩුවීම ද මෙයට හේතු වී ඇත. බිඳුනු පවුල් පරිසර, ආතතිමය තත්ත්වයන්, දරුවන් නොසලකා හැරීම, ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සුලභතාව, දිළිඳුකම සහ ඌණ පෝෂණය වැනි පාරිසරික සාධක ද මත්ද්‍රව්‍ය භාවිතයට බලපායි.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ජාත්‍යන්තර ප්‍රමිතීන් දේශීයකරණය කරමින් ධාරා 6ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ ළමුන් සඳහා අනාවරණ පරීක්ෂණ, තක්සේරු පරීක්ෂණ, උපදේශන, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ පසු රැකවරණ සේවා ඔස්සේ ඔවුන්ව නැවත අධ්‍යයනයට යොමු කිරීම මණ්ඩලයේ ඉලක්කයයි.
2025 ජනවාරි 1 සිට අගෝස්තු 31 දක්වා මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 206 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉන් 39 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇත. ළමුන් මත්ද්‍රව්‍යවලට යොමු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලංකා පොලීසිය පාසල්වල සහ ආයතනවල වැඩසටහන් 15,652ක් පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.