මෙරට සුපිරි ක්‍රීඩක මහේලව මතක් කරමින් දැවී ගිය ස්මිත්..!

Cricket Sri Lanka Cricket Steven Smith Cricket Record
By Sewvandhi Jan 05, 2025 01:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවෙකුට සිය ක්‍රීඩා දිවියේ සම්පූර්ණ කරගැනීමට ලැබෙන ගෞරවාන්විත කඩඉමකි ලකුණු 10,000 සීමාව. අද (5) දිනයේදීම මෙම සුවිශේෂී අවස්ථාව තවත් තරගයකට නොගොස් සම්පූර්ණ කරගැනීමට තිබූ අවස්ථාවක් ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිව ගියේය.

සිඩ්නිහිදී ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර 5වන හා අවසන් ටෙස්ට් තරගය අද අවසන් විය. මෙම තරගයේ ලකුණු දසදහසේ සීමා සම්පූර්ණ කරගැනීමට ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ස්මිත්ට අවශ්‍යව තිබුණේ ලකුණු 5ක් පමණි.

කෙසේ නමුත් ඔහු ලකුණු 4ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය. ඒ අනුව ඔහුගේ ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 9,999 ලෙස තිබියදී පිටියෙන් ඉවත් යාමට සිදුවිය.

එම ලකුණත් ඔහු රැස්කරගත්තා නම් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසුකළ 15වන පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ 4වැනි ඔස්ට්‍රේලියානු පිතිකරුවා වීමට ඔහුට අවස්ථාව තිබුණි.

මෙලෙස ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව ආසන්නයේදී එනම් 9990 සීමාව පසුකර සිටියදී දැවීගිය තෙවැනි පිතිකරුවා ස්මිත්ය. ඉන් එක් පිතිකරුවෙකු වන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනය.

ඔහු 2011 වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයකදී දසදහසේ සීමාව පසුකිරීමට එක් ලකුණක් පසුපසින් සිටියදී දැවීගොස් ඇත. එමෙන්ම දසදහසේ සීමාව ආසන්නයේදී දැවීගිය අනෙක් පිතිකරුවා බ.ඉ. කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරාය.

ඔහු 2004 වසරේ දී එංගලන්තයට එරෙහිව පැවති තරගයදී මෙම ගෞරවාන්විත කඩඉමට ලකුණු 7ක් එනම් මුලු ලකුණු 9,993ක් ලබා සිටිය දී දැවීගොස් ඇත.

කෙසේ නමුත් ලාරා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙන විට ලකුණු 11,953ක්ද, මහේල ජයවර්ධන ටෙස්ට් පිටියට සමුදෙන විට ලකුණු 11,814ක්ද රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ස්මිත්ට මෙම ගෞරවාන්විත කඩඉම පසුකර යාමට හැකිවනු ඇත.

…………………………………………………………………………

You may like this video 👇



ReeCha