ෆෝන් එක නැතිවුණාම පිස්සු හැදෙන්න කලින් මේ දේ නොකළොත් ඔබත් හිරේ - පොලීසියෙන් හදිසි අනතුරු ඇඟවීමක්
ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීමේ අවස්ථාවලදී ජනතාව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින පුරා පොලිස් ස්ථාන වෙත දෛනිකව ජංගම දුරකථන නැතිවීම් සහ සොරකම් සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබෙන බවයි.
ජංගම දුරකථනයක් වෙනත් පුද්ගලයෙකු අතට පත්වීමෙන් පුද්ගලික තොරතුරු, බැංකු සහ මූල්‍ය දත්ත, ඡායාරූප සහ අනෙකුත් සංවේදී තොරතුරු අවභාවිතා වීමේ අවදානමක් පවතින බවද පොලිසිය අනතුරු අඟවා ඇත.
විශේෂයෙන් අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද දුරකථන නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන අවස්ථා වාර්තා වී ඇති බැවින් ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද සඳහන් වේ.

දුරකථනයක් නැතිවූ විට කළ යුතු දේ
පොලිසිය පෙන්වා දෙන්නේ, ජංගම දුරකථනයක් නැතිවූ හෝ සොරකම් වූ වහාම අදාළ SIM පත අක්‍රීය කිරීම සඳහා දුරකථන සේවා සපයන ආයතනය සම්බන්ධ කරගත යුතු බවයි.
එමෙන්ම දුරකථනයේ IMEI අංකය වෙනම සටහන් කර තබා ගැනීම ඉතා වැදගත් බවද දැනුම් දී ඇත. IMEI අංකය ලබා ගැනීම සඳහා *#06# කෙටි කේතය භාවිත කළ හැකිය.
“I Need” පද්ධතියෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව
අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී ඇති “I Need” මෘදුකාංග පද්ධතිය භාවිත කළ හැකි බවද පොලිසිය සඳහන් කරයි.
ඒ සඳහා පහත වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
I Need Police System
දුරකථන සොයාගැනීම් පිළිබඳ සංඛ්‍යාත දත්ත
පොලිසිය සඳහන් කළේ, 2024 වසරේදී අස්ථානගත වූ ජංගම දුරකථන 2796ක් සොයාගෙන හිමිකරුවන් වෙත භාරදීමට හැකි වූ බවයි.
එමෙන්ම සොරකම් කරන ලද දුරකථන 928ක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබේ. 2025 වසරේදී මේ වන විට අස්ථානගත වූ දුරකථන 2355ක් සොයාගෙන ඇති අතර, සොරකම් කරන ලද දුරකථන 1019ක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.
තමන්ට අයත් නොවන ජංගම දුරකථනයක් හමු වූ විට එය ළඟම ඇති පොලිස් ස්ථානයකට භාරදීම ජනතාවගේ වගකීමක් බවත්, එසේ නොකළහොත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවත් පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
