බෝම්බෙට බයේ ක්‍රීඩකයින් තරග නොකර ආවොත් වසර 2ක ක්‍රිකට් තහනමක්?

Report

පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් අනතුරුව වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත් සමඟ ඊයේ (12) දින රාත්‍රියේ ඒ සම්බන්ධව උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එසේ වුවත් ශ්‍රී ලංකා රජයේද මැදිහත්වීමෙන් පාකිස්තාන බලධාරීන් ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සහතික කිරීමත් සමඟ සුපුරුදු පරිදි තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එකඟතාව පළ කර තිබුණා.

එබැවින් එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (14) දිනයේත්, තුන්වැනි තරගය නොවැම්බර් 16 වැනිදාත් පැවැත්වීමට නියමිතයි.

ඉකුත් දා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තානයේ රැඳී සිටීමට එකඟ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තානයේ රැඳී සිටීමට එකඟ වේ

එහිදී ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය ඉකුත් අගහරුවාදා රාවල්පින්ඩි හිදී පැවති අතර එම තරගය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර ඉස්ලාමාබාද් නුවර බෝම්බ පිපිරීමක් සිදුවුණේ පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින්. එම බෝම්බ පිපිරීම සිදුවුණේ තරගය පැවති රාවල්පින්ඩි නුවරට කිලෝමීටර 17ක දුරින් බව සඳහන්.

ඒ සිදුවීමත් සමග පාකිස්තානය තුළ ඇති ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග ඊයේ දින සඳහන් කළා.

එනිසා අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය සඳහා ඊයේ පැවති පුහුණු සැසියටද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වී තිබුණේ නැත.

ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ විස්තර විචාරයට එක්ව සිටින ප්‍රවීණ විස්තර විචාරක රොෂාන් අබේසිංහ කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳ කිසිඳු ගැටලුවක් නැති බවයි. එමෙන්ම ක්‍රීඩකයින් නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීමට ඉල්ලා ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැන්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග අදාළ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය 2025 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරය 2025 - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

එහිදී ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපරිම ආරක්ෂාව තහවුරු කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිදුකළ ඉල්ලීම් කිහිපයකට එකඟතාව පළකිරීමටත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කළ බවයි.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සැලසුම් කළ පරිදි තරගාවලියට සහභාගිවන ලෙස දැන්වූ බවත් එම නිවේදනයේ දැක්වේ.

එවැනි පසුබිමක කිසියම් ක්‍රීඩකයෙක් හෝ පුහුණුකරුවෙක් යළි දිවයිනට පැමිණියොත් ඒ සඳහා අතිරේක ක්‍රීඩකයින් තරගාවලියට යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇත.

එසේම යම් ක්‍රීඩකයෙක් යළි ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුට වසර දෙකකට වැඩි කාලයක් සඳහා ක්‍රිකට් තහනම් කිරීමටද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම පාකිස්තානය තුළදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පාකිස්තාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ තමා පෞද්ගලිකවම සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසූ බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳීසිටින හෝටලයේදී පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොෂීන් නක්වි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමග ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

මොෂීන් නක්වී පාකිස්තාන රජයේ අමාත්‍යවරයෙක් වශයෙන් ද කටයුතු කරන අතර ඔහු රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ආරක්ෂාව පිළිබඳවද සියයට සියයක සහතිකයක්ද ඊයේ ලබාදී ඇති බව සඳහන්.

එබැවින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙකත්, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ සහභාගි වන තුන්කොන් විස්සයි 20 තරගාවලියත් කාලසටහනේ වෙනසක් සමග පැවැත්වීමට කටයුතු කරන බවයි.

එනිසා අද දින පැවැත්වීමට නියමිතව තිබු දෙවැනි එක්දින තරගය හෙට දක්වා කල් දමා ඇති අතර අවසන් එක්දින තරගය ලබන 16 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය තවදුරටත් සඳහන් කළේ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලාහෝර් නුවර පැවැත්වීමට නියමිතව තිබූ තරග සියල්ල රාවල්පින්ඩි හිදීම පැවැත්වීමට නියමිත බවයි.

එසේම තුන්කොන් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟයත් අතෑරලා ලංකාවට

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරඟයත් අතෑරලා ලංකාවට