ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පාකිස්තානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි - සංජනාගේ ඉනිමෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Report

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවති තුන්කොන් විස්සයි20 තරගාවලියේ තරගයකදී කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.

එහිදී නැවතත් පිත්තෙන් දස්කම් දැක්වූ සංජනා කාවින්දි පන්දු 46කින් ලකුණු 61ක් රැස් කළාය. පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 9 වැනිදා පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.

සංජනාගෙන් පිට පිට දෙවැනි අර්ධ ශතකය

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය පළමු කඩුල්ලට පන්දු 89කදී ලකුණු 108ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගූහ.

ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ සංජනා පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 61ක් රැස් කළාය.

එය මෙම තරගාවලියේදී ඇය අඛණ්ඩව ලබාගත් දෙවැනි අර්ධ ශතකය වීම විශේෂත්වයකි.

ඇයගේ දැවී යෑමෙන් අනතුරුව ද ශ්‍රී ලංකා ජයග්‍රහණයට බාධාවක් නොවීය. විමෝක්ෂා බාලසූරිය පන්දු 46කින් හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 43ක් ලබාගනිමින් ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටියාය.

ලෝකයක් ආදරය කරන ඒබී ඩිවිලියර්ස් යළිත් වැඩ පෙන්වයි - වයස 42දී පන්දු 37කින් වාර්තාගත ශතකයක්

ලෝකයක් ආදරය කරන ඒබී ඩිවිලියර්ස් යළිත් වැඩ පෙන්වයි - වයස 42දී පන්දු 37කින් වාර්තාගත ශතකයක්

පාකිස්තානයට ලකුණු 110යි

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ කොමාල් ඛාන් සහ රවායිල් ෆර්හාන් පළමු කඩුල්ලට පන්දු 62කදී ලකුණු 57ක් එක් කළහ.

රවායිල් ෆර්හාන් පන්දු 26කින් ලකුණු 26ක් ලබාගත් අතර, කොමාල් ඛාන් පන්දු 59කින් හතරේ පහර 7ක් සමඟ ලකුණු 54ක් රැස් කළාය.

ෂහාර් බානෝ පන්දු 9කින් ලකුණු 14ක් ලබාගත්තාය. කෙසේ වෙතත්, සෙසු පිතිකාරිනියන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ අවස්ථාවක් නොලැබුණු අතර, පාකිස්තාන ඉනිමේ කඩුලු 5ක් දුවද්දී දැවී යෑම් ලෙස සටහන් විය.

චමෝදි හේරත්, දනෝද්‍යා සෙව්මිණි සහ නෙත්මි උපේක්ෂා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

තරගයේ වීරයා ලෙස සංජනා කාවින්දි නම් කෙරිණි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ඔක්තෝබර් 12 වැනිදා නැවතත් පාකිස්තානය සමඟ ෆයිසලාබාද්හිදී පැවැත්වීමට නියමිතය.

පන්දුව වැලි කඩදාසියෙන් පළුදු කළ රහස කැමරාවට හසුවූ හැටි - වසර 8කට පසු ලෝකයම දැනගත් කතාවේ සම්පුර්ණ කතාව

පන්දුව වැලි කඩදාසියෙන් පළුදු කළ රහස කැමරාවට හසුවූ හැටි - වසර 8කට පසු ලෝකයම දැනගත් කතාවේ සම්පුර්ණ කතාව