සත්කාරකත්වය අහිමි වුණත් ශ්‍රී ලංකාවට සුබ පුවතක් - 2027 කාන්තා ශූරයන්ගේ කුසලානයට ස්ථානය තහවුරුයි
2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවී තිබුණද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (3) නිකුත් කළ නිවේදනයකින් තහවුරු කර තිබේ.
කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට තීරණය කළද, ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ස්ථානය එලෙසම පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
තරගාවලිය සාර්ථකව සංවිධානය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), නව සත්කාරක රට සහ අනෙකුත් සියලු පාර්ශ්වකරුවන් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාව වත්මන් ICC ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානයේ රැඳී සිටීම මෙම සෘජු සුදුසුකම හිමිවීමට ප්‍රධාන හේතුව වී තිබේ. මේ වනවිට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවද තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.
ඒ අනුව, ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් හය අතරට පැමිණීමට නොහැකි වූ ICC පූර්ණ සාමාජික රටවල් වන බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශයට පළමු වරට පැවැත්වෙන කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.