ශ්‍රී ලංකාවේ සංචාරක අනාගතය ඩිජිටල්කරණය වෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ඩිජිටල්කරණය හරහා නවීකරණය කිරීම රජයේ ඉලක්කය බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ලෝකය වේගයෙන් වෙනස් වන බැවින් එම වෙනස්කම් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයද ඉදිරියට යා යුතු බවත්, අනාගතය ගොඩනැගීමේදී නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සංචාරක ව්‍යාපාරය නැවත හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්‍යායපත්‍රය සහ කෘත්‍රිම බුද්ධිය (AI)” යන තේමාව යටතේ අද (25) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති 2026 ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංවිධාන කළ මෙම වැඩසටහනේදී සංචාරකයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කිරීම, නව අවස්ථා නිර්මාණය කිරීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හා AI භාවිත කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කෙරිණි.
“ලෝකය අලුත් වෙනවා, ලෝකය වෙනස් වෙනවා. ඊට සමානුපාතිකව අපිත් වෙනස් වෙන්න ඕනේ. අපේ සංචාරක කර්මාන්තයත් වෙනස් වෙන්න ඕනේ,” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, සංචාරක කර්මාන්තය නැවත සැලසුම් කිරීමේදී AI භාවිත කිරීමේ අභියෝගයට මුහුණ දීමට සූදානම් විය යුතු බවද සඳහන් කළේය.
විවිධ ආර්ථික, දේශපාලන හා පාරිසරික අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාමට හැකි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මේකෙන් තමයි චූටි හරි බෙදීකම් ඇතිවුණේ ඒක අපි දන්නවා.. 22 නිසා ආණ්ඩුවෙ දෙදරීමක් ඇති වූ බව මැතිසබේ උණුසුම මැද බිමල් පිළිගනී
2025 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 2.3කට අධික පිරිසක් පැමිණ ඇති අතර, එම වසරේ සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී සංචාරක පැමිණීම් සහ ආදායම තවදුරටත් ඉහළ නැංවීම මූලික ඉලක්කයක් බවද අමාත්‍යවරයා පැවසීය.
රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය, සාමකාමී වාතාවරණය, නීතියේ ආධිපත්‍යය, ආගමික සහජීවනය සහ ජාතික සමගිය සංචාරක කර්මාන්තයේ ඉදිරි වර්ධනය සඳහා වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
මේ අතර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන පාර්ශ්ව නවීන තාක්ෂණය භාවිතයට යොමු කිරීම මෙන්ම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමද වැදගත් බවයි.
“සංචාරක ව්‍යාපාරයේ අනාගතය උදෙසා AI භාවිතයෙන් කෙරෙන නවෝත්පාදන” යන තේමාව යටතේ පැවති නවෝත්පාදන තරගාවලියද උත්සවයේ විශේෂ අංගයක් විය. තෘතීයික අධ්‍යාපන සහ වාණිජ යන අංශ දෙක යටතේ පැවති එම තරගාවලිය සඳහා අයදුම්පත් 52ක් ලැබී තිබූ අතර, විශේෂඥ විනිසුරු මණ්ඩලයක් විසින් සිදුකළ ඇගයීමෙන් අනතුරුව අයදුම්පත් 25ක් අවසන් වටයට තෝරාගෙන තිබිණි.
අවසන් වටයේදී තරගකරුවන් විසින් සිය AI තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කර ඇති අතර, එක් එක් අංශයෙන් ජයග්‍රාහකයන් හය දෙනා බැගින් තෝරාගෙන තිබේ. ඔවුන්ට සම්මාන පිරිනැමීමද අද පැවති උත්සවයේදී සිදුකෙරිණි.
AI සහ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංචාරක කළමනාකරණය ශක්තිමත් කිරීම, සේවා මට්ටම ඉහළ නැංවීම සහ සංචාරකයන්ට වඩාත් ගුණාත්මක අත්දැකීමක් ලබාදීම මෙහිදී අවධාරණය කෙරිණි.
රාජ්‍ය හා පෞද්ගලික අංශ, විශ්වවිද්‍යාල සහ තාක්ෂණික ක්ෂේත්‍ර අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ සංචාරක කර්මාන්තයක් ගොඩනැගීම සඳහා මෙම වැඩසටහන වැදගත් වේදිකාවක් වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.