දකුණු ආසියාවෙන්ම ළමයි වෙනුවෙන් ලංකාව පෙරට එයි - ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තියට එක්වෙයි
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ ගෝලීය ප්රඥප්තියට ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම ඊයේ (17) දින කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පාර්ශවය සඳහා නිල එකඟතාවය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතින් සිදුව ඇත.
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක පටන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශව කල රාජ්‍යයක් වේ.
එසේම ජාත්‍යන්තර නීතිය යටතේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී.
එමෙන්ම 2009 ළමා විකල්ප රැකවරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා සභා මාර්ගෝපදේශ, 2019 දෙමව්පිය රැකවරණය අහිමි දරුවන් කෙරෙහි අවධානය යොමු කරන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සභා යෝජනාව සහ 2022 ආයතන ගත රැකවරණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ මාර්ගෝපදේශ මෙන්ම 2022 පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්ගේ කිගාලි ප්රකාශනය සහ 2024 දී ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින ලද දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ පළමු ගෝලීය අමාත්‍ය සමුළුව වැනි පවතින ජාත්‍යන්තර වගකීම් පදනම් කරගෙන ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෝලීය ප්රඥප්තිය සම්පාදනය කර ඇති අතර මෙම ප්රඥප්තිය මේ වන විට ලෝකයේ රටවල් 34 අනුමත කර ඇත.
එසේ වුවත් දකුණු ආසියානු රටවල් තවමත් මෙම ප්රඥප්තිය සඳහා එක්ව නොමැති අතර ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්රඥප්තිය සඳහා එක් වන පළමු දකුණු ආසියාතික රට බවට පත් විය.
මේ අතර නව රජය පත්වීමෙන් අනතුරුව අමාත්යතුවරිය ප්රමුඛ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ළමා ආරක්ෂණය සහ රැකවරණය සඳහා සාධනීය පියවර රාශියක් ලබා ගෙන ඇත. ඒ අනුව 2026 වසර තුළ මුල් ළමා විය සංවර්ධනය ඇතුළු දරුවන් පාදක ක්ෂේත්රයන් භෞතික සහ, ප්‍රතිපත්තිමය ලෙස සංවර්ධනය කිරීමට ප්‍රධාන ඉලක්කය බවට පත්කරගෙන තිබේ.
එහි තවත් ජයග්‍රාහී පියවරක් වශයෙන් මෙම ගෝලීය ප්රඥප්තිය සඳහා එක්වීමේ ප්‍රධානතම අරමුණ නම් ශ්‍රී ලංකාවේ ජාතික ළමා රැකවරණ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට හා ජාත්‍යන්තර ප්‍රමිතයින්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට දායක කරගැනීමයි.
එමෙන්ම මෙම අවස්ථාව අමතමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, “දරුවන්ට හොඳම දේ ලබාදීම යනු වචනවලට සීමා වූ අදහසක් නොවෙයි. එය අප රජයේ ප්‍රධානතම වගකීම.”
බවයි. එමෙන්ම මෙම අවස්ථාව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef), ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධාන කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් Andrew Patrick මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් Theresa O’Mahony මහත්මිය , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත Marc-André Franche මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වූ බව සඳහන්.