මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාව - ආර්ථිකය සෙලවෙද්දි විදේශ අංශය දැඩි පීඩනයක - ඉන්ධන සහ මෝටර් රථ ආනයන වියදම් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයට අඛණ්ඩව බලපෑම් එල්ල වී තිබෙන අතර, 2026 ජූනි මාසයේදී ද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව, පිළිවෙලින් අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමින් ජූනි මාසයේදී එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 149ක් වශයෙන් සටහන් වී ඇත.
මේ අතර අපනයන ඉපැයීම්වලට වඩා ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් 2026 වසරේ පළමු මාස හය (පළමු අර්ධය) තුළ සමුච්චිත වෙළඳ ගිණුමේ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා පුළුල් වී ඇත.
එසේම එය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ පැවැති ඩොලර් බිලියන 3.3ක හිඟයට වඩා සැලකිය යුතු ඉහළ යාමක් වේ.
එමෙන්ම ඉන්ධන ආනයන වියදම් පිළිබඳ සැලකීමේදී, 2026 අප්‍රේල් මාසයේ පැවැති අමෙරිකානු ඩොලර් මිලියන 886ක ඉහළම අගයේ සිට මැයි මාසයේදී ඩොලර් මිලියන 536 දක්වාත්, ජූනි මාසයේදී ඩොලර් මිලියන 465 දක්වාත් පාලනය වී ඇත.
කෙසේ වුවද ඉකුත් 2025 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2026 පළමු අර්ධයේ සමුච්චිත ඉන්ධන ආනයන වියදම 58.8%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 3,168ක් වශයෙන් සටහන් විය.
එසේම ජූනි මාසයේදී මෝටර් රථ ආනයන වියදම පෙර මාසයට සාපේක්ෂව 27.1%කින් පහත බැස ඩොලර් මිලියන 182ක් වූ අතර, 2026 පළමු අර්ධයේ සමුච්චිත මෝටර් රථ ආනයන වියදම ඩොලර් මිලියන 1,254ක් වශයෙන් සටහන් වී ඇති බව වාර්තා වේ.
සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි ද මැදපෙරදිග අර්බුදය සෘජුවම බලපා තිබෙන අතර, ජූනි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇත.
එබැවින් ජූනි මාසයේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 151ක් වශයෙන් තක්සේරු කර ඇත.
මේ අතර විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් ජූනි මාසයේදී 9.3%ක වර්ධනයක් සමඟ ඩොලර් මිලියන 695ක් දක්වා ඉහළ ගිය අතර, 2026 පළමු අර්ධය තුළ ලැබුණු සමුච්චිත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 23.2%ක වර්ධනයක් සටහන් කරමින් ඩොලර් බිලියන 4.6ක් බවට පත් ව තිබෙනවා.
2025 අ.පො.ස. උ.පෙළ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මඟ බලන් හිටපු කඩඉම් ලකුණු නිකුත් කරයි - අවම Z-අගයන් මෙන්න
එමෙන්ම 2026 ජූනි මාසය අවසාන වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් වශයෙන් සටහන් වූ අතර, විදේශිකයන් විසින් රාජ්‍ය භාණ්ඩාගාර පත්‍රිකා සහ බැඳුම්කර වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලර් මිලියන 30.2ක ශුද්ධ ආයෝජනයක් සිදු කර ඇත.
ඊට අමතරව 2026 ජූලි මස අවසන් වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.8%කින් අවප්‍රමාණය වී ඇතත්, මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දුන් මූල්‍ය සහ මැක්‍රෝ-ප්‍රූඩෙන්ෂල් ප්‍රතිපත්තිමය පියවරයන් හේතුවෙන් විදේශ විනිමය අනුපාතිකයේ විචල්‍යතාව මේ වන විට යම් පාලනයකට ලක්ව ඇති බව සඳහන්.