වාහන ගන්නද ඉන්නේ? හිතාගන්න බැරි විදිහට මිල බැහැලා
රජය විසින් වාහන ආනයනය සඳහා අවසර ලබා දී මේ වන විට මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇත.
ඒ අනුව පසුගිය ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ, වසර 05කට පසුව වේ.
ඉන්පසුව නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
නව වාහන ගෙන්වීමත් සමග මෙරට තුළ පාවිච්චි කරන ලද වාහනවල මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බවට බොහෝ ගැනුම්කරුවන් චෝදනා කර සිටියේ තමන්ට වාහනයක් මිල දී ගැනීමට අසීරු තත්ත්වයක් ඇති බව පවසමිනි.
ඒ අනුව වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දී මාස 08කට පසුව මෙරට වෙළෙඳපොළ තුළ වාහන මිල ගණන් විශාල ලෙස පහත වැටී ඇති බවට කතාබහක් මතුව තිබේ.
ඊට පිළිතුරු වශයෙන් වාහන ආනයනකරුවන්ගෙන් පවසා ඇත්තේ මෙරට වෙළෙඳපොළ තුළ රුපියල් ලක්ෂ 100ක වටිනාකමින් අලෙවි වූ වාහනවල මිල මේ වන විට රුපියල් ලක්ෂ 5කි පමණ අඩු වී ඇති බව ය.
එමෙන් ම, ලක්ෂ 200ක මිල පරාසය තුළ අලෙවි කෙරුණු වාහනවල මිල රුපියල් ලක්ෂ 15-10ත් අතර අගයකින් අඩු වී ඇති බවයි.
ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ
"හේතුව ජපානයේ වාහන වෙන්දේසිවල ගණන් අඩු වෙලා තියෙනවා මොකද අපේ අය වාහන මිල දී ගන්න එක අඩු කරලා තියෙන නිසා. අවුරුදු 05කට පස්සේ තමයි ලංකාවේ මාර්කට් එක ඕපන් වුණේ වාහනවලට. ඒ වෙලාවේ ලංකාවේ මාර්කට් එකේ ලොකු රික්තයක් තිබුණා වාහනවලට. දැන් ඒක අඩු වෙලා තියෙන්නේ. මේ නිසා වාහන මිලේ යම් අඩුවක් වෙලා තියෙනවා.'' ''සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 100ක් වගේ ගාණකට විකුණන වාහනයක් දැන් ලක්ෂ 05කින් විතර අඩු වෙලා. ඒ වගේ ම ලක්ෂ 200කට වගේ අලෙවි වුණ වාහනයක මිල ලක්ෂ 10-15ත් අතර අගයකින් අඩු වෙලා තියෙනවා," ඔහු පැවසුවේ ය.