අනිද්දා වෙන්න යන දෙයින් මේ අය කනස්සල්ලෙන් - නව VAT සශෝධනයත් සමඟ අනතුරු ඇඟවීමක්
අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත නව එකතු කළ අගය මත බදු (VAT) ලියාපදිංචි සීමාව පිළිබඳව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සිය දැඩි කනස්සල්ල පළ කරයි.
ඒ අනුව රජයේ මෙම තීරණය නිසා මෙරට ආර්ථිකයෙන් 52% ක දායකත්වයක් සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්රය දැඩි පසුබෑමකට ලක්වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
එසේම රජය විසින් 2026 වසරට හඳුන්වා දී ඇති බදු සංශෝධනවලට අනුව, මෙතෙක් රුපියල් මිලියන 60 ක්ව පැවැති වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 36 දක්වා පහත හෙළා ඇත.
එමඟින් වැඩි ව්‍යවසායකයින් ප්‍රමාණයක් බදු දැලට හසුකර ගැනීම රජයේ අරමුණයි.
එමෙන්ම මසකට රුපියල් ලක්ෂ 30 ක (දිනකට ලක්ෂයක් පමණ) වෙළෙඳාමක් සිදුකරන ව්‍යවසායකයන් මෙම 18% ක වැට් බද්දට යටත් වනු ඇත.
මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) අය කරන සීමාව ද රුපියල් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති මොහිදීන් කාදර් මහතා ප්‍රකාශ කරන්නේ, ආර්ථික අර්බුදය, ස්වාභාවික විපත් සහ යුදමය වාතාවරණය හමුවේ ව්‍යවසායකයන්ට මෙම බර දරාගත නොහැකි බවයි.
එසේම මෙහි අවසන් ප්‍රතිඵලය වශයෙන් බදු බර පාරිභෝගිකයා මත පැටවෙනු ඇති බවද ඔහු පවසයි. තවද වාණිජ මණ්ඩලයේ වත්මන් සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ, රුපියල් මිලියන 60 සීමාව එලෙසම පවත්වාගෙන යාම රජයේ වගකීමක් බවයි.
එමෙන්ම ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් වන ලංකා ෆෙඩරේෂනයේ නිර්මාතෘ එස්.එන්. රාසවන් මහතා අනතුරු අඟවා ඇත්තේ මෙම බදු ප්‍රතිපත්තිය නිසා දැනට 25% ක්ව පවතින දිළිඳුකම 27% දක්වා ඉහළ යා හැකි බවයි.
එමෙන්ම රජයේ අපේක්ෂාව වන්නේ 2025 වසරේ 14.8% ක් වූ බදු ප්‍රතිශතය, 2026 වසර වන විට දළ ජාතික නිෂ්පාදිතයෙන් 15.4% ක් දක්වා ඉහළ නංවා ගැනීම බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති ජොනී ප්‍රනාන්දු මහතා පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මෙම පියවර ගෙන ඇති බවයි.
කෙසේ වුවද රුපියල් 5,000 ට අඩු QR ගනුදෙනු වෙනුවෙන් ගාස්තු ඉවත් කිරීම වැනි ඩිජිටල්කරණ පියවර හරහා සියලු ව්‍යාපාරිකයන් සමාන මට්ටමකට පැමිණීම අනාගතයට යහපත් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.