සුභ ආරංචියක් - අප්‍රේල් 9 සිට 21 දක්වා මුදල් ත්‍යාග - බස් ටිකට් පරිස්සම් කරගන්න
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කරුණාරත්න පවසන්නේ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් අනිද්දා (09) දිනයේ සිට ආරම්භ කරන බවයි.
අද (07) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර, හෙට (08) දිනයේ දී නවීකරණය කරන ලද කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ද මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ඔහු එහිදී පැවසුවේය.
වැඩිදුරටත් අප්‍රේල් 09 වනදා සිට 21 දක්වා කාලය තුළ ලංගම බස්රථ මඟින් සිය ගමන් පහසුව සලසා ගන්නා මගීන් විසින් ලබාගන්නා ප්‍රවේශ පත්‍රය ප්‍රවේශම්කර තබාගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවට දැනුම් දෙයි.
සභාපතිවරයා පැවසුවේ එම ප්‍රවේශපත් විශේෂ දිනුම් ඇදීමකට ලක්කර ත්‍යාග මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් සූදානම් කර ඇති බවයි.
1958 දුරකථන අංකය ඔස්සේ අමතා ලංගම බස්රථ ගමනා ගමනය පිළිබඳව තොරතුරු දැනගැනීමට සහ යම් ගැටළු ඇත්නම් ඒ පිළිබඳව දැනුම්දීමට හැකියාව පවතින බවයි.
මේ අතර උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා පවතින කාලය තුළ ලංගම බස්රථවල ආසන වෙන්කර ගැනීමේ සේවාව නවතා දමා ඇති බවත් ඔහු සඳහන් කළේය.