රාවල්පින්ඩිහිදී පාකිස්තානය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 8ක සුපිරි ජයක්
පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී පැවැති තෙවන විස්සයි20 තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබාගත්තේය.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් නායක සහිබ්සාදා ෆර්හාන් පන්දු 47කදී ලකුණු 76ක් සහ අරාෆත් මින්හාස් නොදැවී ලකුණු 34ක් රැස් කළහ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳහෙළූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 1ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 172ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී විශිෂ්ට ලකුණු 87ක් රැස් කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් කමින්දු මෙන්ඩිස් නොදැවී ලකුණු 40ක්ද, සිනෙත් ජයවර්ධන ලකුණු 38ක්ද ලබාගැනීමට සමත් වූහ.