යෝෂිත සහ කරන්නාගොඩට එරෙහි අල්ලස් කොමිසමේ නඩුව කැඳවීමට නියෝග
2006 වසරේදී විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදාවට බඳවාගෙන, පටිපාටියෙන් පරිබාහිරව රජයේ මුදලින් බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීමෙන් "දූෂණය" නැමැති වරද සිදුකළ බවට ගොනුකර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මේ මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ. අද (13) මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
එහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ තමන් ඉල්ලා සිටි ලේඛනවලින් කොටසක් මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව විත්තිය ඉල්ලන ලේඛන ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ විනිසුරුවරයා නඩුව ඔක්තෝබර් 28 වනදා නැවත කැඳවීමට නියම කළේය.