22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පාමින් SJB මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ (SJB) මන්ත්‍රීවරු අද (25) කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
මෙම පනත් කෙටුම්පත් සම්බන්ධ දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද වන අතර, විවාදය අවසන් කිරීමෙන් අනතුරුව අද පස්වරුවේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ නිල වැඩසටහනට අනුව, මෙම පනත් දෙක පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දෙදින පැවැත්වීමට නියම කර තිබිණි.
පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ (24) ආරම්භ වූයේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙම සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී “ප්රජාතන්ත්රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ විරෝධතාවක්ද පැවැත්වීය.
එම විරෝධතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු SJB මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් පිරිසක් එක්ව සිටියහ.
මේ අතර, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ අනන්‍යතාව ගැන සමාජ මාධ්‍යයේ උණුසුම් කතාබහක් - අශෝක හඳගමත් වෙනස් කතාවක් කියයි