ලෝකයක් ආදරයෙන් උමතු කළ ශකිරා - උගන්ඩාවේ දරුවන්ට ආදරය දුන් හැටි [VIDEO]
ලෝකප්‍රකට කොලොම්බියානු ගායිකා ශකිරා, උගන්ඩාවේ ජනප්‍රිය ළමා නර්තන කණ්ඩායමක් වන Ghetto Kids සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක් කිරීමත් සමඟ එය රසිකයන් අතර දැඩි අවධානයට ලක්ව තිබේ.
එම වීඩියෝවේ ශකිරා දරුවන් සමඟ සතුටින් නර්තනයේ යෙදෙන අයුරු දැකගත හැකි අතර, එය රසිකයන්ගෙන් උණුසුම් ප්‍රතිචාර රැසක් හිමි කරගෙන ඇත. දරුවන් සමඟ ආදරණීය අවස්ථා බෙදාගනිමින් ඔවුන්ට ජාත්‍යන්තර අවධානයක් ලබාදීමට ශකිරා කටයුතු කිරීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනා ඇයව ප්‍රශංසා කර තිබේ.
Ghetto Kids හෙවත් Triplets Ghetto Kids යනු උගන්ඩාවේ දරුවන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමකි. ඔවුන්ගේ විශේෂ නර්තන ඉදිරිපත් කිරීම් සහ සමාජ මාධ්‍ය වීඩියෝ හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ශකිරාගේ “Dai Dai” ගීතය වෙනුවෙන් දරුවන් ඉදිරිපත් කළ නර්තන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වීමත් සමඟ ශකිරාගේ අවධානය ඔවුන් වෙත යොමුවී තිබේ. ඉන් අනතුරුව, 2026 FIFA ලෝක කුසලාන අවසන් තරගයේ halftime show සඳහා ඔවුන් සමඟ එක්වීමට ශකිරා ආරාධනා කළාය.
එම ආරාධනය අනුව Ghetto Kids දරුවන් ශකිරා සමඟ 2026 ජූලි 19 වැනිදා ඇමරිකාවේ නිව් ජර්සිහි MetLife Stadium හි පැවති FIFA ලෝක කුසලාන අවසන් තරගයේ halftime show සඳහා එක්වූහ.
එහිදී ශකිරා “Dai Dai” ගීතය ඉදිරිපත් කළ අතර, Ghetto Kids දරුවන් ඇය සමඟ නර්තනයේ යෙදුණහ. Ghetto Kids කණ්ඩායම උගන්ඩාවේ Kampala නගරයේ Katwe ප්‍රදේශය ආශ්‍රිතව ආරම්භ වූ සමාජ ව්‍යාපෘතියකින් වර්ධනය වූ කණ්ඩායමකි.
Dauda Kavuma විසින් 2014 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන සහ අසරණ වූ දරුවන්ට නර්තනය, සංගීතය සහ රංග කලාව හරහා අවස්ථා ලබාදීමයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නර්තන වීඩියෝ ජනප්‍රිය වීමත් සමඟ Ghetto Kids ජාත්‍යන්තර අවධානය දිනාගත් අතර, පසුව විවිධ ජාත්‍යන්තර වැඩසටහන් සහ සංගීත නිර්මාණ සඳහාද ඔවුන් සම්බන්ධ වී තිබේ. මේ අතර, ශකිරාගේ “Dai Dai” ගීතයද දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාජ වැඩසටහනකට සම්බන්ධ වී තිබේ.
ශකිරා සිය ගීතයෙන් ලැබෙන royalties වලින් සියයට 100ක් FIFA Global Citizen Education Fund වෙත පරිත්‍යාග කිරීමට පොරොන්දු වී තිබේ. මෙම අරමුදල ලොව පුරා අවශ්‍යතා ඇති දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනය සහ ක්‍රීඩා අවස්ථා ලබාදීම සඳහා අරමුදල් රැස් කිරීම අරමුණු කරයි. ශකිරා Ghetto Kids දරුවන් සමඟ ගත කළ කාලය පිළිබඳවද සිය සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබා තිබුණි.
ඇය එහිදී සඳහන් කර තිබුණේ පසුගිය දින කිහිපය තමන්ට “විස්තර කළ නොහැකි තරම් ආදරයෙන් පිරී තිබූ” බවයි. දරුවන් සමඟ ගත කළ කාලය පිළිබඳව අදහස් දක්වමින් ශකිරා පවසා තිබුණේ, ඔවුන්ගේ ජීවිතයේ පළමු වතාවට මුහුදු වෙරළට රැගෙන ගිය බවත්, පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ එකට කාලය ගත කළ බවත්ය.
එමෙන්ම, දරුවන් යන සෑම තැනක්ම ආදරයෙන් පුරවාලමින් ඔවුන් හමුවන පුද්ගලයන්ගේ හදවත් ස්පර්ශ කරන ආකාරය පිළිබඳව තමන් සහ පිරිස පුදුමයට පත්වූ බවද ඇය සඳහන් කර තිබේ. දරුවන්ගෙන් සමුගැනීම තමන්ට ඉතා අපහසු වූ බවත්, ඔවුන් ආදරය ලබාදීමටත් ආදරය පිළිගැනීමටත් සුවිශේෂී හැකියාවක් ඇති බවත් ශකිරා පවසා තිබුණි. “ඔබලා වෙනත් මහද්වීපයකින් පැමිණි අය වුවත්, වෙනස් සංස්කෘතියක ජීවත් වුවත්, වෙනත් භාෂාවක් කතා කළත්, දැන් මම ඔබලාට මගේම දරුවන් ලෙස ආදරය කරනවා” යනුවෙන්ද ඇය සිය සටහනේ සඳහන් කර තිබුණි.
Ivan, Ricky, Joseph, Brighton, Kesha, Jojo, Ciara සහ Ketra යන දරුවන් අමතමින් ශකිරා ඔවුන්ට ස්තූතිය පළ කර තිබුණේ ජීවිතය සහ එහි අරමුණ පිළිබඳ වටිනා පාඩම් ඔවුන් තමන්ට ඉගැන්වූ බව පවසමිනි. “අපි ඔබලාට සදාකාලයටම ආදරෙයි!” යනුවෙන්ද ශකිරා සිය සංවේදී සටහන අවසන් කර තිබුණි.
Ghetto Kids දරුවන් සමඟ ශකිරා බෙදාගත් මෙම ආදරණීය අවස්ථාව, සංගීතය හා නර්තනය හරහා රටවල්, සංස්කෘතීන් සහ භාෂා අතර ඇති සීමා ඉක්මවා මිනිසුන් එකිනෙකා සමඟ සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වන තවත් අවස්ථාවක් බවට පත්ව තිබේ.