මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය කිරීමේ සිදුවීම්වල වෙඩික්කරු වශයෙන් කටයුතු කර ඇති බවට පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම වෙඩික්කරු එදින මොණරාගලට පලාගොස් ඇත්තේ, මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 2ක මුදලක් ලැබීමෙන් අනතුරුව බව හෙළි වී ඇත.
අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොණරාගලදී අත්අඩංගුවට ගත් දෙවැනි වෙඩික්කරු විමර්ශන නිලධාරීන් හමුවේ තවත් කරුණු හෙළි කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොලිසිය පැවසුවේ දකුණු පළාතේ සහ තවත් ප්‍රදේශ රැසක වෙඩි තැබීමේ සිද්ධීන් 20කට වැඩි ගණනක ප්‍රධාන වෙඩික්කරු වශයෙන් තමන් කටයුතු කර ඇති බවත්, ඉන් පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවත් ඔහු විසින් පාපොච්චාරණය කළ බවයි.
අඳාළ ඝාතන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත සිදු කර ඇති බවට ද හෙළි වී තිබෙනවා.
ඒ අනුව ඔහු, ''සර්...සුද්දා කියන්නේ මගේ දෙයියෝ.. සුද්දා වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා.. මම මේවා සල්ලි බලාගෙන නෙවෙයි කරන්නේ..'' යනුවෙන් විමර්ශන නිලධාරීන් වෙත පවසා ඇති බව සඳහන්. මේ අතර වෙඩික්කරු අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන්, ''සර් මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..'' යනුවෙන් පැවසූ බව පොලිසිය ප්‍රකාශ කළා.
වෙඩි තැබීමෙන් පසුව ඔහු කොට්ටාව මංසන්ධියේදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග මාලබේ දෙසට පැමිණ ඇත. පසුව පුද්ගලයෙකු පැමිණ රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන්ට දුන් බවත්, අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ තමන් මත්තලට පැමිණි බවත්, වෙඩික්කරු කියා තිබෙනවා.
''සර්.. ඒ බස් එකේ හිටියේ මමයි ඩ්‍රයිවරුයි විතරයි...'' යනුවෙන් සැකකරු විමර්ශන නිලධාරීන් වෙත සඳහන් කර ඇත. කෙසේ වුවද අධිවේගි මාර්ගයෙන් ආ වෙඩික්කරු මත්තල ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස මොණරාගල දෙසට වෙනත් බස් රථයකින් පැමිණ ඇති අතර මොණරාගලට පැමිණි වෙඩික්කරුට දුරකථන ඇමතුමකින් ත්‍රිරෝද රථයකට ගොඩවන ලෙසට උපදෙස් ලැබී ඇත.
ඒ අනුව වෙඩික්කරු එම ත්‍රිරෝද රථය ඔස්සේ මොණරාගල නක්කල ප්‍රදේශයට පැමිණීමෙන් පසු අංගොඩ ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මිත්‍රයෙකු වන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන කැලුම් නමැත්තා විසින් වෙඩික්කරුව රැගෙන යාමට පැමිණ ඇත.
ඉන්පසුව ඩුබායි සිට පුද්ගලයෙකු කැලුම් නමැත්තාට දුරකථන ඇමතුමක් ලබා දී කියා ඇත්තේ ''අපේ එකෙක් එනවා..පරිස්සම් කරලා ඌව තියාගන්න ඕනි..''යනුවෙන්.
කුලී පදනම මත ලබා ගත් නිවස වෙත ඔහුව රැගෙන ගොස් තිබුණේ ඉන් පසුව බව සඳහන්. කෙසේ වෙතත් වෙඩික්කරුගෙන් තවදුරටත් ප්‍රකාශ ගැනීම සිදුවන බව පොලිසිය ප්‍රකාශ කළා.