මේ විශ්වවිද්‍යාල සිසුන්ට රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාරයක් - ජූලි 11 ඉඳන් ඇරඹෙයි
ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් සඳහා සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන මෙම ශිෂ්‍යාධාර වැඩසටහන “සරසවි දිරියෝ අභිමන්” ලෙස හඳුන්වයි.
ඒ අනුව එළඹෙන ජූලි 11 වැනි සෙනසුරාදා මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය සමඟින් එය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. එමෙන්ම මෙම වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කරයි.
ඒ අනුව ” සරසවි දිරියෝ අභිමන් ” සමාරම්භක උත්සවයේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 254 දෙනෙකු ඇගයීමට ලක් කෙරෙන අතර, මෙම වැඩසටහනට සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න බව වාර්තා වේ.
එමෙන්ම කොළඹට පැමිණීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැඩසටහන අගෝස්තු මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇති බව සඳහන්.
මෙම ” සරසවි දිරියෝ අභිමන්” වැඩසටහන යනු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කෙරෙන ආබාධ සහිත සිසුන්ගේ කැපවීම, හැකියාව සහ අධ්‍යාපන ජයග්‍රහණයට ජාතික ඇගයීමක් ලබාදෙන අතර, කිසිදු ශාරීරික සීමාවක් අධ්‍යාපන සිහිනවලට බාධාවක් නොවිය යුතු බවට රජය දරන ස්ථාවරය යළිත් තහවුරු කරන සුවිශේෂී සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහනක් වේ.