හිංසාවට ලක්වූ මැතිසබා නිලධාරිනියට යුක්තිය ඉටු කරනු - සජිත්ගෙන් චෝදනාවක්
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුව ඇති හිරිහැර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටු නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ඒ අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ අදාළ නිලධාරිනියට වහාම සාධාරණය ඉටු කිරීමට පාර්ලිමේන්තු පරිපාලනය පියවර ගත යුතු බවයි.
හිටපු මහාධිකරණ විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් මේ පිළිබඳ විමර්ශන පවත්වා ඇති අතර, එහිදී අදාළ නිලධාරිනිය දැඩි වාචික හිංසනයට සහ අඩන්තේට්ටම්වලට ලක්ව ඇති බව පැහැදිලිවම අනාවරණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබුණද, ඉන් එකදු නිර්දේශයක් හෝ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති වීම කණගාටුදායක බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තා පරපුරේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවත්, පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක සේවය කරන කාන්තාවන්ට තවදුරටත් මෙවැනි හිරිහැර සිදු නොවන ආකාරයට කටයුතු කිරීමේ යුතුකම බලධාරීන් සතු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.