ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් හදිසි රතු එළියක්

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකිය.

එම හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0ත් 2.5ත් අතර දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එබැවින් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසත් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.