රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවට කොමිසමක් ඉල්ලයි
රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් විෂමතා ඉවත් කර නිවැරදි වැටුප් තලයක් ස්ථාපිත කිරීම සඳහා වහාම පූර්ණ බලැති වැටුප් කොමිසමක් පත් කරන ලෙස සමස්ත ලංකා වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා රජයෙන් ඉල්ලා සිටී.
අද (05) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමිත් කොඩිකාර මහතා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
"ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය නටබුන් වෙලා කියලා. නටබුන් වෙලා කියලා එතුමා උදාහරණයට ගන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්. නමුත් මේ රටේ ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ගම් මට්ටමේ නිලධාරීන් 54,000ක් විතර ඉන්නවා.
යම් 54,000 ම ගම තුළ රාජකාරි කරන්නේ ඉතාම අවම පහසුකම් තුළ. කාර්යාල පහසුකම් නෑ, සනීපාරක්ෂක පහසුකම් නෑ, ඔවුන්ට ලිපි ද්‍රව්‍ය සඳහා ප්‍රමාණවත් මුදලක් ලැබෙන්නේ නෑ. ප්‍රමාණවත් ගමන් පහසුකම් ලැබෙන්නේ නෑ. කාර්යාලයක් සඳහා ලැබෙන්නේ රුපියල් 2,000ක් 3,000ක් වගේ මුදලක්.
ඒ වගේ මුදලකට කාර්යාලයක් ගන්න බෑ. වාර්ෂිකව ලිපි ද්‍රව්‍ය සඳහා ලැබෙන්නේ රුපියල් 3,000ක මුදලක්. ඒ මුදල ප්‍රමාණවත් නෑ. ගමන් වියදම් වශයෙන් ලැබෙන්නේ මාසයකටම රුපියල් 1,800යි. ඒක කොහෙත්ම ප්‍රමාණවත් නෑ. මෙයලෙස නටබුන් තත්ත්වයට පත්ව ඉන්න පහළ නිලධාරීන් ගැන නොසොයා ඉහළ නිලධාරීන් සන්තර්පණය කරන්න රජය උත්සාහ කරන බව පේනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මීළඟ අයවැයෙන් හෝ මේ නිලධාරීන්ගේ පහසුකම් වැඩි කරන්න කියලා.
ඒ වගේම යම් වෙලාවක රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අනු කමිටුවක් පත් කරලා තියෙනවා. එතැනත් අපට ගැටළුවක් තියෙනවා. යම් වෙලාවක කරන්න ඕනේ අනු කමිටු පත් කර ප්‍රශ්නය කල් මරන එක නෙවෙයි. පූර්ණ බලැති වැටුප් කොමිසමක් පත් කර වැටුප් විෂමතා සියල්ල නිවැරදි කර රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ගැටළු විසඳන්න රජයට පුළුවන්. ඒ නිසා අපි ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා කල් මරන ප්‍රතිපත්තිවලින් එළියට ගිහිල්ලා රාජ්‍ය සේවක ගැටළුවලට සාධාරණ විසඳුමක් ලබා දෙන්න ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා"