ඇගිලි සලකුණු නැතිව රේගු නිලධාරීන්ට කෝටි 335 ක වැටුප් ගෙවීම

By Shehan Oct 05, 2025 08:10 AM GMT
Report

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයකින් තොරව ශ්‍රි ලංකා රේගු සේවයේ නිලධාරීන් 2,335 දෙනෙකු සඳහා වැටුප්, වේතන, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් 2024 වර්ෂයේදී රුපියල් තුන් බිලියන 395 මිලියන 867,121ක් (3,395,867,121) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

සියලුම රජයේ සේවකයින්ට තම පැමිණීම් සහ පිටවීම් සටහන් කිරීම සඳහා ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය ය. එහෙත් ශ්‍රි ලංකා රේගුවේ නිලධාරීන්ට එවැනි යන්ත්‍ර භාවිතයකින් තොරව වැටුප්, වේතන, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් දෙසියතිස් කෝටි 8,884,777ක් (2308,884,777) ගෙවා ඇති බවද වාර්තාවෙන් හඳුනාගෙන ඇත.

මීට අමතරව, රේගු අතිකාල, නැව්බඩු පිරික්සුම් ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල මගින් රුපියල් එකසිය ඈක කෝටි 87 මිලියන 172,344ක් (1087,172,344) ගෙවී ඇති බවද විගණනයෙන් හෙළිදරව් වී තිබේ.

මෙම නිලධාරීන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දිරිදිමනා ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ පැමිණීම් හා පිටවීම් පිළිබඳ නිසි සනාථකරණයකින් තොරව මෙම ගෙවීම් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් අනාවරණය වී ඇත.

සියලුම නිලධාරීන්ට ඇගිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු බවත්, වැටලුම් අවස්ථාවක හෝ එවැනි රාජකාරි කටයුත්තකට සහභාගී වීමට අවශ්‍ය විට එම යන්ත්‍ර භාවිතය අපහසු වුවහොත්, ඒ පිළිබඳ අදාළ බලධාරීන් විධිමත් ලෙස දැනුවත් කර සුදුසු කටයුතු ගැනීමට යුතුකම් ඇති බවත් 2024 ජනවාරි 24 වැනිදා පැවැත්වූ රාජ්‍ය ගිණුම් කාරක සභා රැස්වීමේදී ශ්‍රි ලංකා රේගුව විසින් නිර්දේශ කර තිබේ.

2024 වර්ෂය සඳහා ශ්‍රි ලංකා රේගු සේවයේ කාර්ය සාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ මෙම තොරතුරු සම්පූර්ණයෙන්ම ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.