විගණකාධිපති ධුරයට නව නාමයෝජනා 4ක්
විගණකාධිපති ධුරය පුරප්පාඩුව පවතින තත්ත්වය යටතේ, එම ධුරයට පත්කිරීමට ව්‍යවස්ථාවේ සඳහන් සුදුසුකම්වලින් සමන්විත සිවු දෙනකුගේ නම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යළි යොමු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
ඉකුත් මාස 9ක කාලය තුළ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත විගණකාධිපති ධුරය සඳහා නාමයෝජනා හතරක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
අවසන් වරට පසුගිය 2025 දෙසැම්බර් මාසයේදී ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර තිබිණි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී එම නාමයෝජනාවට පක්ෂව සාමාජිකයන් හතර දෙනෙකු පමණක් ඡන්දය දුන් අතර, පස් දෙනෙකු විරුද්ධව ඡන්දය දී තිබිණි.
ඕ.ආර්. රාජසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු වන අතර, ඔහු හමුදාවේ විගණන අංශයේ සේවය කළ අයෙකි.
41 වැනි විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු එම ධුරය මාස 08කට වැඩි කාලයක් පුරප්පාඩුව පවතින අතර, එය රාජ්‍ය විගණන ක්‍රියාවලියට බලපෑම් එල්ල කර තිබේ.
මේ අතර ජාතික විගණන කාර්යමණ්ඩල වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් නිල වශයෙන් ඉල්ලා සිටින්නේ, දැනට විගණකාධිපති ධුරයේ වැඩ බලන ජී.එච්.ඩී. ධර්මපාල මහතා එම තනතුරේ ස්ථිර කරන ලෙස ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නවතම තීරණය මත ඉදිරියේදී මෙම ධුරය පිරවීම සිදුවේද යන්න මේ වන විට ජනතාවගේ අවධානය යොමු වී ඇත.