විදේශීය ඩිජිටල් සේවාවලට 18% වැට් බද්ද ජූලි 1 දක්වා තවත් කල් දැමේ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව, විදේශීය (අනේවාසික) සැපයුම්කරුවන් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාව තුළ සපයන ඩිජිටල් සේවාවන් සඳහා 18% අගය එකතු කළ බද්ද ක්‍රියාත්මක කිරීම ජූලි 01 වන දින දක්වා තවදුරටත් කල් දමා ඇත.
එකතු කළ අගය එකතු කළ බදු පනතට විධිමත් සංශෝධනයක් සිදු වන තෙක් මෙම බද්ද ක්‍රියාත්මක නොකරන බව දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇත.
මෙම බද්ද පසුගිය වසරේ ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, ගැසට් අංක 2443/30 මගින් ඒ සඳහා නීතිගත ක්‍රමවේදය නිකුත් කර තිබිණි. පසුව එය අප්‍රේල් 01 දක්වා කල් දැමූ අතර, දැන් තෙවන වතාවටත් ජූලි 01 දක්වා කල් දැමීමට තීරණය කර ඇත.
මෙම කල් දැමීම නිසා විදේශීය ඩිජිටල් සේවා සපයන්නන්ට (උදා: Netflix, Google, Meta, Amazon වැනි වේදිකා හරහා සපයන සේවා) තවමත් වැට් බදු ලියාපදිංචිය හෝ බදු ගෙවීමේ බැඳීමක් ඇති නොවේ.