දින 359කට පස්සේ පිල්ලෙයාන්ට රිමාන්ඩ් වෙන්න වුණ සම්පූර්ණ විස්තරේ - ඔහු සම්බන්ධයෙන් ඇඟ හිරිවැටෙන තොරතුරු රැසක් අධිකරණයට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) දින නියෝග කර තිබුණා.
ඒ අනුව ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බව වාර්තා විය.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය වසරේ අප්‍රේල් 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව දින 359කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයේ සිටි සැකකරු අද දින පස්වරුවේ මුල්වරට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එම අවස්ථාවේදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ප්‍රශ්නගත උපකුලපතිවරයා මෙම සැකකරුගේ අනුබලය මත ඝාතනයට ලක්ව තිබූ බවයි.
"ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරාදැමීම්ද සිදුකර තිබෙනවා. මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා. ඇතැම් ඝාතනවලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා. ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත්කර තිබූ T56 ගිනි අවි 352ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා. "
පසුව සැකකාර සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇප අයැදීමක් කරමින් කරුණු දක්වා ඇත.
" ස්වාමිනි, මගේ සේවාදායකයා බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙක් විදිහට බඳවාගැනීමේ ඉඳලා අවුරුදු 18ක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කොටුවෙලා හිටියා. පස්සේ 2015 ඉඳලා අවුරුදු 05ක් පරරාජසිංහම් ඝාතනයට කියලා නොකළ වරදකට රිමාන්ඩ් භාරයේ සිටියා. නමුත් අද දක්වාම ඔහු කිසිදු වරදකට වරදකරුවෙකු වෙලා නැහැ. ස්වාමිනි, මොහු මේ නඩුවේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කරලාත් නැහැ, අධිකරණය මඟහැරලාත් නැහැ. මොහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එය ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. මොකද අත්අඩංගුවට ගන්නා මොහොත වෙද්දිත් වත්මන් ආණ්ඩුව යටතේත් මොහුට පොලිස් නිලධාරීන් 05කගේ ආරක්ෂාවක් ලබාදී තිබුණා. නමුත් බන්ධනාගාරය ඇතුළේ එවැනි ආරක්ෂාවක් නැහැ. එබැවින් මොහුව ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා."
කෙසේ වුවද සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විරුද්ධ වී තිබුණි. අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගලකිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අදාළත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති කෘත්‍යයක් පවතින බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.