සේවිකාවකට ලිංගික අතවර කර සති තුනක් සැඟව සිටි මාලිමාවේ ලොක්කෙක් අත්අඩංගුවට
නාරහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායිකාවකට ලිංගික අතවර කර සති තුනක් පමණ සැඟවී සිටි ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවට පොලිසිය විසින් ඊයේ (23) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.
ඒ අනුව අංක 56/17/ඒ/1, මහවත්ත, බොරැල්ල පාර, පන්නිපිටිය පදිංචි ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා සේවක සංගමයේ සභාපතිවරයා වන සේනාධීරගේ රෝහිමාල් නමැති 56 හැවිරිදි සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව නාරහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටි බව වාර්තා වුණා.
තවද පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේ සැකකරු විසින්ම තමන්ට බැන තර්ජනය කර ලිංගික අතවර කරන ලදැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ ගිණුම් ලිපිකාරිනියක වශයෙන් සේවය කරන ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන ජානකී ශ්‍යාමලී සිල්වා විසින් පසුගිය අගෝස්තු 31 වනදා කරන ලද පැමිණිල්ලක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නාරහේන්පිට පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් කොළඹ යාපනය ගමන් මාර්ගයේ බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ ගැටලුවකට අදාළ සාකච්ඡාවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ජීවක පුරසිංහ සහ වෘත්තීය සමිති අතර පසුගිය අගෝස්තු 29 වන දින පවත්වා ඇති බව අධිකරණයට දන්වා තිබෙනවා.
එයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි පැමිණිලිකාර වෘත්තීය සමිති නායිකාවට බැන තර්ජනය කර ඇතැයි සැකකරු පැමිණිලිකාරියගේ අතින් අදිමින් ඇයට ලිංගික අතවර කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
මේ අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසංක පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය විසින් තම සේවාදායකයාට බැන තර්ජනය කිරීමක්ද සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඔහු විසින් මහරගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවද අධිකරණයට කරුණු දැක්වුවා.
එමෙන්ම අඳාළ සැකකරුට ඇප ලබාදෙන ලෙසද නීතිඥ අසංක පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහරින මෙන් නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නඩුව එළඹෙන නොවැම්බර් 24 වැනිදා නැවත කැඳවන මෙන් නියම කර තිබෙනවා.