භයානක හෙළිදරව්වක්, විදෙස් චිත්‍රපට, නාට්‍ය බැලුවොත් උතුරු කොරියානුවන්ට මරණ දණ්ඩනය
එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් විදේශීය සිනමාපට, රූපවාහිනී නාට්‍ය මාලා නරඹන තම පුරවැසියන්ට මරණීය දණ්ඩනය පැනවීම උතුරු කොරියානු රජය ඉහළ දමමින් සිටින බව හෙළි වී ඇත.
එසේම අඳාළ වාර්තාවෙන් අවධාරණය කර ඇත්තේ අද වන විට ලෝකයේ වෙනත් කිසිදු රටක ජනතාවක් මෙතරම් පාලනයකට යටත් වී නැති බවයි.
එමෙන්ම ආඥාදායකත්වය ලෝකයෙන් බැහැර වෙන විට ඉකුත් දශකය තුළ උතුරු කොරියාව පමණක් තම පුරවැසියන්ගේ ජීවිතය කෙරෙහි පූර්ණ පාලනය දැඩිකර තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ මෙම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව එම වාර්තාවෙන් 2015 න් පසු එරට නව නීති හයක් හඳුන්වා දී තිබූ අතර ඒවා මරණ දණ්ඩනය ලබා දීමට ඉඩ සලසන බව සඳහන්.
විදේශීය චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය වැනි විදේශීය මාධ්‍ය නැරඹීම සහ බෙදා හැරීම එරට තුළ මේ වන විට මරණ දණ්ඩනයට ලක් විය හැකි අපරාධයක් බව සඳහන්.
මෙය කිම් ජොන් උන් ජනතාවට තොරතුරු ලැබීම සීමා කිරීමට කටයුතු කිරීමේ කොටසක් වශයෙන් සිදු කරන බවට අඳාළ වාර්තාවෙන් චෝදනා කෙරේ.
මේ අතර ඉකුත් වසර 10 තුළ උතුරු කොරියාවෙන් පලා ගිය පුද්ගලයන් 300 කට අධික පිරිසක් සමඟ කළ සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ මෙම වාර්තාවෙන් මරණ දණ්ඩනය "නිතර නිතර" භාවිතා වන බව අනාවරණය වි ඇත.
එසේම පලා ගිය අය පර්යේෂකයන්ට 2020 සිට විදේශීය අන්තර්ගතයන් බෙදාහැරීම වෙනුවෙන් මරණ දණ්ඩන ක්‍රියාත්මක කිරීම වැඩි වී ඇති බවත්, මේවා මහජනයා බිය ගැන්වීමට වෙඩි තැබීමේ කණ්ඩායම් මඟින් ප්‍රසිද්ධියේ සිදු කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
ඊට අමතරව 2023 දී පැන ගිය කාං ග්‍යුරි බීබීසී පුවත් සේවයට ඇගේ මිතුරන් තිදෙනෙකු දකුණු කොරියානු වැඩසටහන් සමඟ අසුවීමෙන් පසු මරණ දණ්ඩනයට ලක් වූ බව සඳහන් කළා.
එසේම ඇය, 23 හැවිරිදි මිතුරෙකු මරණ දණ්ඩනයට නියම වූ නඩු විභාගයකට සහභාගී වී ඇති අතර එම මිතුරා මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමඟ නඩු විභාගයට ලක් වී ඇත.
ඒ අනුව ඇය 2020 වසරෙන් පසුව මෙම අපරාධ ‘දැන් එක හා සමානව සලකනවා’ යනුවෙන් පවසා ඇත. අඳාළ වාර්තාවෙන් "වර්තමාන ලෝකයේ කිසිදු ජනගහනයක් මෙවැනි සීමාවන්ට යටත් නොවන" බව නිගමනය කර ඇත.
එසේම තාක්ෂණික දියුණුව නිසා සෝදිසි කිරීම් ‘වඩාත් ව්‍යාප්ත’ වී ඇති බවත් ආඥාදායකත්වය තම ජනතාවට වැඩි වශයෙන් බලහත්කාරකම් පටවමින් ඔවුන්ගේ නිදහස තවදුරටත් සීමා කරන බවත් වාර්තා වේ.
2011 දී කිම් ජොන් උන් බලයට පත් වූ විට ජනතාව තම ජීවිතය යහපත් වනු ඇතැයි අපේක්ෂා කළ නමුත්, 2019 දී කිම් බටහිර සහ එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රතික්ෂේප කර ආයුධ වැඩසටහනට අවධානය යොමු කිරීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය සහ මානව හිමිකම් "පිරිහී"ගොස් තිබෙන බවත් අඳා වාර්තාවේ පෙන්වා දෙයි.
ඊට අමතරව සම්මුඛ සාකච්ඡා කළ බොහෝ දෙනෙක් තමන්ට ප්‍රමාණවත් තරම් ආහාර නැති බවත්, දිනකට වේල් තුනක් ආහාර ගැනීම සුඛෝපභෝගී දෙයක් බවත් කියයි.
තවද චීන දේශ සීමාව පාලනය දැඩි කිරීමෙන් සහ ඒ හරහා යාමට උත්සාහ කරන්නන්ට වෙඩි තැබීමට හමුදාවට අණ කිරීම නිසා රටින් පැන යාම "කළ නොහැක්කක්" බවට පත්ව ඇත.
මෙහිදී එක් කාන්තාවක් පර්යේෂකයන්ට සාක්ෂි දී ඇත්තේ ‘රජය ක්‍රමයෙන් ජනතාවට ස්වාධීනව ජීවිකාව ගෙන යාම අවහිර කළ අතර, ජීවත් වීමේ ක්‍රියාවම දෛනික වධයක් බවට පත්ව ඇත’ යනුවෙන්.
එබැවින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් මෙම තත්ත්වය දිගටම පැවතුනහොත්, උතුරු කොරියානුවන්ට ‘ඔවුන් මෙතරම් කලක් විඳදරාගත් දුක් වේදනා, ම්ලේච්ඡ මර්දනය සහ බිය තවත් විඳීමට සිදුවනු ඇති’ බවට අනතුරු අඟවයි.