වාහන අංක තහඩු ගැන දැනුම්දීමක් - නියෝජ්‍ය පොලිස්පති පැහැදිලි කරයි
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසන්නේ නිල වාහන අංක තහඩු මේ දක්වා නිකුත් නොකළත්, ප්‍රමිතිය විකෘති අංක තහඩු සවිකර රථ වාහන ධාවනය සිදුකළ නොහැකි බවයි.
නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව 'A4' ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් ප්‍රදර්ශනය කිරීමට කිසිදු බාධාවක් නොමැති බවද ඔහු පවසයි.
සැපයුම්කරුවෙකු නොමැතිවීමෙන් මාස 10ක පමණ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන අංක තහඩු නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතරවූ අතර, ඒ හේතුවෙන් අංක තහඩු ලක්ෂ 4ක් පමණ මුද්‍රණය කිරීමට නොහැකි වී ඇති බව සඳහන්ය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී සිටින්නේ, අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම ආරම්භවීමට නියමිත බවය.
මෙවන් පසුබිමක අලුතින් ලියාපදිංචිවන වාහන, පිටස්තර වෙළෙඳසැල්වලින් විවිධ වර්ණයන්, ප්‍රමාණයන් සහ විවිධ හැඩයෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය කරන ආකාරය මේ වනවිට සුලබවී තිබේ.
බොහෝදෙනා මැසිවිලි නගන්නේ එවන් අංක තහඩු සහිත වාහන සඳහා පොලිසිය දඩ නියම කරන බවය.