ට්‍රම්ප්ගේ අවසන් නිවේදනය -ඉස්සරහට මොකද වෙන්නේ
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කල අතර ඉන් පසු ගාසා තීරය වෙනුවෙන් අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ.
ඊට අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන මෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස් වාර්තා පවසයි. පසුව ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔවුන් පවසන්නේ සාමය සඳහා වූ 'ට්‍රම්ප්ගේ සැලැස්ම' වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය.
ඊයේ (3) සිය Truth අවකාශයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ, ලබන ඉරිදා (හෙට) ග්‍රිනිජ් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වනවිට තම සාම සැලැස්මට එකඟවිය යුතු බවය.
වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස්කිරීමට මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් භාරදීමට මෙමගින් යෝජනා විය.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම Truth සමාජ මාධ්‍ය හරහා පැවසුවේ ඒ සදහා ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කරගැනීමට සිදු වූ අතර අදාල එකඟතාවයට පැමිණීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගතහැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවයි.
සැලැස්ම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසර 2කට ආසන්න යුද්ධය අවසන් කර 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් අල්ලා ගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් සංවිධානය එකග වී ඇති බවයි.
කෙසේ නමුත් ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, ගාසා පාලනයෙන් ඉවත්විය යුතු බවත් වන යෝජනාවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.