මහවැලි ගඟේ වතුර මට්ටම ඉහළට - සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
මහවැලි ගඟ ද්‍රෝණියේ පහත්බිම් ආශ්රිත ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව, මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා, මුතූර් සහ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් මහවැලි ගඟට ආසන්න පහත්බිම් ප්‍රදේශවලට මෙම සුළු ගංවතුර තත්ත්වය බලපෑම් කිරීමේ හැකියාවක් පවතී.
මීට අමතරව, මඩකලපුව - පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල් ප්‍රදේශය, සෝමාවතිය රජමහා විහාරයේ පිවිසුම් මාර්ගය සහ එම විහාරය අවට ප්‍රදේශවලට ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බැවින්, ඉදිරි දින කිහිපය තුළ සෝමාවතිය රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් මෙන්ම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි වන ජනතාව විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 23 වැනිදා (23) මධ්‍යම රාත්‍රී 12 දක්වා බලපැවතෙන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මහවැලි ගඟ ආශ්රිත ජනතාව මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වී, අවශ්‍ය විටදී ආපදා කළමනාකරණ ඒකක හෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.