නිවාස ආධාර අරමුදල මිලියන 2ක දක්වා ඉහළට
අමාත්‍ය මණ්ඩලය විසින් ජල සම්පාදන අමාත්‍යතුමා සිදුකළ උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීම යටතේ දැනට ලබා දෙන ආධාර මුදල රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීම පිණිස යෝජනාව විසින් අනුමත කර ඇත.
2009 වර්ෂයේ සිට පසුගිය දෙසැම්බර් (31) දින දක්වා උතුරු සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දී පවුල් 277,167කට අයත් පුද්ගලයින් 919,450ක් මුල් ගම්බිම්වල නැවත පදිංචි කර ඇත.
ජනවාරි (01) දින වන විට තවදුරටත් එම පළාත්වල කිසිදු නිවසකට හිමිකමක් නොමැති අවතැන් වූ පවුල් 13,069ක් සිටින බව හඳුනා ගෙන ඇත. නිවාස අහිමි අවතැන් වූ සාමාජිකයින් දෙදෙනෙකු හෝ ඊට අඩු පවුල් සඳහා වර්ගඅඩි 340ක නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 9ක් ද, සාමාජිකයින් දෙදෙනෙකුට වැඩි පවුල් සඳහා වර්ගඅඩි 550ක නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක් ද වශයෙන් ආධාර ලබා දීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව පසුගිය ජනවාරි (02) දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී, ප්‍රතිලාභීන් අඩු ආදායම්ලාභීන් වීම සහ අදාළ ඉදිකිරීම් ද්‍රව්‍යවල පිරිවැය හා ශ්‍රම ගාස්තු ඉහළ යාම යන කරුණු සැලකිල්ලට ගෙන, නියමිත ප්‍රමිතියෙන් යුතුව අදාළ නිවාස ඉදිකිරීමට හැකි වන පරිදි දැනට ගෙවනු ලබන ආධාර මුදල පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව නොසලකා වර්ගඅඩි 550ක නිවසක් වෙනුවෙන් 2026 වර්ෂයේ සිට රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීම යෝග්‍ය බවට හදුනාගෙන ඇත.