යුධ ගින්දැල් නිසා නැවතුණ සහ ප්‍රමාද වන සියලුම ගුවන් ගමන් ගැන දැනුවත්කිරීමක් - මාර්තු 7 වෙනකල් මේ ගුවන් මඟීන්ට විශේෂයි
2026 වසරේ පෙබරවාරි 28, එනම් අද දින ඇමෙරිකානු මැදිහත්වීම ද සහිතව ඊශ්‍රායලය මඟින් ඉරානය වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඉරානය, ඊශ්‍රායලය සහ ඉරාකය යන රටවල් සිය සිවිල් ගුවන් ගමන් සඳහා වූ ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මෙම තීරණයත් සමඟ ගුවන් ගමන් අවලංගු වීම්, ගුවන් යානා වෙනත් ගුවන්තොටුපළවල් වෙත හරවා යැවීම් සහ නව ගමන් මාර්ග හඳුන්වා දීම් නිසා ලොව පුරා ගුවන් මගීන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇත.
විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ඉරානයේ ටෙහෙරාන් වැනි නගර කේන්ද්‍ර කරගනිමින් සිදුවන ගුවන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිට තිබෙන අතර, ඩුබායි, දෝහා සහ අබුඩාබි වැනි ගල්ෆ් කලාපීය ප්‍රධාන ගුවන්තොටුපළවල් ඔස්සේ යුරෝපය සහ ආසියාව අතර නැගෙනහිර-බටහිර මාර්ගවල ගමන් ගන්නා යානාවලට දිගු ගමන් මාර්ග භාවිතා කිරීමට සිදුවීමෙන් විශාල කාල ප්‍රමාදයන් නිර්මාණය වී තිබෙනවා.
මහා පරිමාණ යුද්ධයක ආරම්භය - ඇමරිකාවත් සටනට එක්වෙයි - ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාර - ගුවන් සීමාවන් වසා දමයි
ඒ අනුව මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ලුෆ්තාන්සා සමාගම සහ එහි අනුබද්ධිත ඔස්ට්‍රියන් හා ස්විස් ගුවන් සේවා විසින් ටෙල් අවිව් සහ බේරූට් ඇතුළු ගමනාන්ත කිහිපයකට වූ සියලුම ගුවන් ගමන් මාර්තු 7 වන දින තෙක් අත්හිටුවා ඇත.
එසේම විස් එයාර් (Wizz Air) සමාගම ද මාර්තු 7 දක්වා ඊශ්‍රායලය, ඩුබායි, අබුඩාබි සහ අම්මාන් වෙත සිදුකරන සියලුම ගුවන් මෙහෙයුම් නවතා දමා තිබෙනවා. අමෙරිකානු ගුවන් සේවා වන යුනයිටඩ් එයාර්ලයින්ස් සහ ඩෙල්ටා එයාර් ලයින්ස් සමාගම් ඇමෙරිකාවේ සිට ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානා ඇතන්ස් වැනි වෙනත් නගර වෙත හරවා යැවීමට කටයුතු කර තිබෙන අතර, එයාර් ෆ්‍රාන්ස්, කේ.එල්.එම් සහ ඒජියන් යන ගුවන් සමාගම් ද ටෙල් අවිව් වෙත සිදුකරන මෙහෙයුම් මුළුමනින්ම නවතා දමා ඇත.
මේ අතර රුසියානු ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් මත එරට ගුවන් සමාගම් ද ඉරානය සහ ඊශ්‍රායලය වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
කලාපීය සහ ආසියානු ගුවන් සේවා බොහොමයක් ද මෙම තත්ත්වයට කඩිනමින් ප්‍රතිචාර දක්වා ඇති අතර ඉන්දීය ගුවන් සේවය (Air India) මඟින් නවදිල්ලියේ සිට ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ යානයක් යළි මුම්බායි වෙත හරවා යවා ඇත.
එමෙන්ම මාර්තු 1 වන දා සිට සතියක කාලයක් සඳහා ඊශ්‍රායල ගුවන් ගමන් අත්හිටුවීමටත්, උතුරු ඇමෙරිකානු කලාපයේ සිට ඉන්දියාවට පැමිණෙන යානා යුරෝපයෙන් ඉන්ධන ලබාගන්නා පරිදි ගමන් මාර්ගය වෙනස් කිරීමටත් පියවර ගෙන ඇත.
තවද ඉන්ඩිගෝ (IndiGo) සමාගම ද ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් සඳහා බලපාන පරිදි කාලසටහන් වෙනස් කිරීම් සහ අවලංගු කිරීම් සම්බන්ධ නිවේදන නිකුත් කරමින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් පවතී.
එමෙන්ම කටාර් ගුවන් සේවය 2026 ජූනි 30 වන දා දක්වා ටෙහෙරාන් නුවර වෙත සිදුකරන බොහොමයක් ගුවන් ගමන් අවලංගු කර තිබෙන අතර එහිදී දිනකට එක් ගුවන් වාරයක් පමණක් දෙපසටම ක්‍රියාත්මක වන බව සඳහන්.
එසේම ෆ්ලයිඩුබායි (flydubai) සමාගම ඊශ්‍රායලයට සහ ටෙහෙරාන් ඇතුළු ඉරාන නගරවලට යන ගමන් වාර සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර අනෙකුත් ගමන් මාර්ග වෙනස් කර තිබෙනවා.
මේ අතර තුර්කි අයවැය ගුවන් සේවයක් වන ඒජෙට් (AJet) සඳුදා දිනය දක්වා ඉරානය, ඉරාකය සහ ජෝර්දානය වෙත මෙහෙයුම් අත්හිටුවා ඇති අතර ඇතැම් අවස්ථාවලදී එය ලෙබනනයට පමණක් සීමා කර තිබෙනවා.
කුවේට් ගුවන් සේවා අධිකාරියට අනුව කුවේට් එයාර්වේස් සමාගම ද නැවත දැනුම් දෙන තුරු ඉරානය වෙත සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත. ඊට අමතරව ඊශ්‍රායල ගුවන් කලාපය වසා දැමීම නිසා ආකියා (Arkia) සහ එයාර් හයිෆා (Air Haifa) වැනි එරට දේශීය ගුවන් සේවාවලට ද සිය මෙහෙයුම් මුළුමනින්ම අත්හිටුවීමට සිදුව තිබෙන බව සඳහන්.
එමිරේට්ස්, එයාර් ෆ්‍රාන්ස්-කේ.එල්.එම් සමූහය සහ මැලේසියානු ගුවන් සේවය වැනි අනෙකුත් සමාගම් ද මෙම අවදානම් කලාප මඟහැරීමට මේ වන විටත් සිය ගුවන් යානා ආපසු කැඳවමින් හෝ ගමන් මාර්ග වෙනස් කරමින් සිටියි.
එසේම තත්ත්වය උත්සන්න වුවහොත් තවදුරටත් වෙනස්කම් සිදුවිය හැකි බව දැනුම් දෙයි.
එමෙන්ම පවතින මෙම අස්ථාවර වාතාවරණය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් බලධාරීන්ගේ උපදෙස් මත ගුවන් සමාගම් විසින් ඉදිරියේදී නව තීරණ ගැනීමට ඉඩකඩ ඇත.
එමෙන්ම කලාපය හරහා හෝ එම රටවල් වෙත සංචාරය කිරීමට අපේක්ෂා කරන මගීන්ට ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ අවලංගු වීම් පිළිබඳ දැඩි අවදානමකට මුහුණ දීමට සිදුවේ.
එනිසා ගුවන් තොටුපළ වෙත යාමට පෙර Flightradar24 වැනි පියාසැරි ලුහුබැඳීමේ යෙදුම් හෝ අදාළ ගුවන් සමාගම්වල නිල වෙබ් අඩවි හෝ යෙදුම් හරහා තමන්ගේ ගුවන් ගමන පිළිබඳ නවතම තොරතුරු පරීක්ෂා කර බැලීම මගීන්ට අත්‍යවශ්‍ය වන බව දැනුම් දෙයි.