නව ආරක්ෂිත සීමාවක් - මාතර බන්ධනාගාරය දැන් කොටවිලට
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ඉක්මනින් ගෙන යාමට කටයුතු කරන බව අධිකරණ, ජාතික ඒකාබද්ධතා හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් පසු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය:
“මාතර බන්ධනාගාරයේ අවශ්‍යතා සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකින් පසු විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම බන්ධනාගාරය පිහිටි භූමියේ බන්ධනාගාර කටයුතු සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් නැහැ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්, කාර්ය මණ්ඩලය මෙන්ම රැඳවියන් ද දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් ලෙස මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ඉක්මනින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කළා.
මාතර නව අධිකරණ සංකීර්ණය කොටවිල ප්‍රදේශයේ පිහිටුවා තිබෙනවා. එහි බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලහකාරී තත්ත්වය නිසා මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කළා. රටේ සංවර්ධන සැලසුමට අනුව, වැඩිදින බන්ධනාගාරය පිහිටි භූමිය ඓතිහාසික වටිනාකමකින් යුතු භූමියක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කරුණු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ඉක්මනින් සිදු කිරීමට තවදුරටත් සාකච්ඡා කරනවා.”
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මාතර මහ නගර සභාවේ නගරාධිපති ජයන්ත පතිරණ, මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහත්වරු ඇතුළු අධිකරණ, ජාතික ඒකාබද්ධතා හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
