ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 'ටිංකර්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් හෙවත් “ටිංකර්” නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන පරිදි, සැකකරු හෙට (03) දින දක්වා පැය 24ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ඊයේ (02) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබූ ඔහු, ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාර දී ඇත.
ඒ අනුව, සැකකරු ඊයේ දිනයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අවසර ලබා දුන් බව පොලිසිය පැවසීය.
36 හැවිරිදි මෙම සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් හෙවත් “කොච්චිකඩේ ශිරාන්” නමැත්තාගේ ගෝලයෙකු බව සඳහන් වේ.
පසුගිය අගෝස්තු මාසයේ පෑලියගොඩ, ශ්‍රී ඥානරතන මාවතේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේදී, සැකකරුවන්ට ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවද ඔහුට එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
එසේම, පසුගිය වසරේ ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේදී, සැකකරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලෙසද මොහු කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.