මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින වර්ෂාපතනයේ යම් අඩුවක් නිරීක්ෂණය වුවද, නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දිගු කාලයක් සඳහා පවත්වා ගැනීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
පසුගිය නොවැම්බර් මස අවසානයේ සහ දෙසැම්බර් මස මුල් සතියේ ලැබුණු වර්ෂාපතනය සමඟ, බොහෝ ස්ථාන තවදුරටත් අනතුරුදායක තත්ත්වයේ පවතින අතර, සුළු වර්ෂාපතනයක්ද එවැනි ස්ථානවලට අනතුරුදායක තත්ත්වයක් ඇති කළ හැකි බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර යන ප්‍රදේශවලට, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, උකුවෙල, අඹගග කෝරළේ, රත්තොට, ලක්ගල සහ පල්ලේගම යන ප්‍රදේශවලට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රදේශවලට අදියර එක යටතේ නිකුත් කර තිබූ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකව තිබේ.
ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පරිසර තත්ත්වය, ලැබෙන වර්ෂාපතනය සහ අනතුරුදායක ස්ථානවල තත්ත්වය අනුව මෙම නිවේදන ඉදිරියේදී වෙනස් විය හැකි බවය.
පසුගිය කාලයේ ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයාම් පූර්ව ලක්ෂණ ඇති වූ ප්‍රදේශ බොහෝ වශයෙන් පවතින අතර, සුළු වර්ෂාපතනයක්ද එම ස්ථානවල ක්‍රියාකාරී බවක් ඇති කළ හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.